Tuesday, March 31, 2015

ඇහැට, කනට ... පොකට්ටුවට, වින්දනීය බඩාලාට ලෂු නොවන්න (හරිමගක් එවිට අපට හමුවෙයි)

දේශපාලන පොත්තේ ගැත්තන් වී ඒකා කරොත් හරිය මේකා කරොත් වැරදිය හිතන ගැත්තෝ රැළක් තවම වෙත්, හනේ හපොයි... ඒකා මේකා කවරෙකු කළත් කරන දේ හරි වැරැද්දත්, යුක්තිය අයුක්තියත් තෝරා ගන්නට බැරි අප කාටත් හිමි හැමදා හිස් රස්තියාදුවක් විතරයි. කේන්දරේ කේන්ද්‍ර කරගෙන ජීවිතේවත් දේශපාලනේවත් ජයගන්න බැරි සේම පක්ෂ කේන්ද්‍ර කරගෙන රටේ දියුණුවක් ගැන හිතීමත් විහිළුවක්. වඩා වැදගත් වන්නේ පුද්ගලයින් හා ඔවුන්ගේ කැපවීමත්, නිවැරදි අවබෝධය තුළ සාධාරණ එකමුතුවත් නේද? මහපොළොවෙ සීයට සීයක් ඵලදරන්නෙ නැති වුනත් යමක් වෙන්න පුළුවන් මිනිස්සු හරි විදහට හිතන්න පටන් ගත් තැනින්, ඔවුන් තමන්ගේ නියෝජිතයන්ට දෙන තල්ලුවෙන් ... එතැනින් පටන් ගත‍්තොත් අවුලෙන් රස්තියාදුවෙන් කන කාලෙ තේරුමක් ඇති විදිහට ගතවේවි ඉදිරියට, ලොකු ලොකු කතා ගැන හිතන්න කලින් නිරවුල් ඇරඹුමක් වැදගත්.. ඒ ඇරඹුම කරන්න අවශ්‍ය හැමදා බහුතරයක් නොවුන මුත් බහුතර බලයක් උපද්දන නිරවුල් ජන මනස නොවෙයිද? අපිට හිතවත් හිතගත් ඇම්බැට්ටයින් වෙනුවෙන් අරින කට වහගෙන සාධාරණයක් යුක්තියක් හොයාගන්න පුළුවන් ඇහැට, කනට හා පොකට්ටුවට විතරක් කතා කරන එකැස් දේශපාලන සංස්කෘතිය අවසන් කරන්නට දායක වෙන්නට හැකිනම්... ඇහැට හොද රංගනයකුත්, කනට අහන්න කැමති දේත් පොකට්ටුවට හොද ගානකුත් ලබල දෙන පොරොන්දුගරුත්වයට කොමා දමා ප්‍රතිපත්තිගරුකත්වයකට කාලෙ හරි දැන්. වැදගත් දේශපාලනික ආයතන වල ඉන්න දේශපාලනය සේවයකටත් එහා බිස්නස් හදාගත් වින්දනීය බඩාලාට හෝ බඩීලාට ලෂු නොවන්න.. ඔවුන්ගේ කතා සාප්පු වහලා හැම තැන ක්‍රියා සාප්පු අරින්න නැකත හරි දැන්...මාකට් කරන කතා සංකල්ප ගෙනෙන දේශපාලන සාප්පු නම් වහලාම දැමිය යුතුයි. කිනම් ජාතියක් හෝ ආගමක් දේශපාලන අරමුණු වෙනුවෙන් විකිණීම තහනම් කළ යුතුයි. එනයින් ජාතික ආණ්ඩු හැදිය යුත්තේද ජනතාවයි, කවුරු ආණ්ඩු කළත් කවුරු විරුද්ධ පක්සේ වුවත් හැම ජනතාවම හැමදා සිටිය යුත්තේ රටේ පක්සේ. පුද්ගලික වාසිය රුචිය තකා නොනැහී කුමන ජාතියක වුව එක් රටක මිනිසුන් ලෙස තවදුරටත් ජාතිකකරණය විය යුත්තේ ජනතාවයි.

සාරධර්මයක් හෝ ආචාරධර්මයක් තුළ වඩා යහපත් තැනකට එසවෙන්නට තවදුරටත් අපට හැකිවන්නේ එතැනින් මිස පාට පක්ස බැකෝ බදාගෙන ඒ‍වායේ නගුටු අඩු වලින් එසැවී එක එකාට කොකම් පෑමෙන් නම් නොවේ. ඒ කොකම් පෑපෙන් හැමදා වීරයන් හා සූරයන් වූයේ දේශපාලනය බිස්නස් එකක් කරගත් උදවියයි. එය තේරුම් නොගන්නේ නම් අදමෙන් හෙටත් අප හැමගේ උරුම කරුමය එයමයි.  උරුමය අතහැරීමට තරම් නිර්ලෝභී වුනොත් යන්තම් අපේ කරුමය මගහැරෙයි. හරිමගක් එවිට අපට හමුවෙයි.