Wednesday, October 15, 2014

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක තම හිමිකම් ගැන පෙත්තෙක් කතා කරයි

 මෙ පුවත මෙපරිදිය.

දන්නා අය සදහන් කළ පරිද්දට මිනිසුන් විසින් ඇති කළද මේ පෙත්තා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම්  ලැබූවෙකි. උදෑසණ සිට සවස් වෙන තෙක් තමන් කැමති තැනකට ගොස් ලැබනෙ දෙයක් කා බී එන්නට පුරුදු වී සිටියෙකි. මිනිස් ඇසුර හුරු නිසා හිතවත් වූ නිවෙස් වෙත නිර්භයව එන්නෙකි. එසේ එන අතර තමාට හිතවත් කම් පෑ නිවැසියෙක් වෙත සමීප වූ නිසාවෙන් අද උදෑසණ කොටු කිරීමකට ලක්වූවෙකි. තව ටික දිනකින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදීමට උගනිමින් සිටි මේ පෝතකයාගේ  ප්‍රජා අයිතිය ද අහෝසි වන තැනට මේ වන විටත් කරුණු සම්පාදනය වෙමින් පවතී. බුද්ධිමත් විචාරකයන් මේ ගැන එබදු උපකල්පනයක් දක්වතත් තවමත් ඒ තීරණය පමණක් අදාළ පුද්ගලයින් විසින් එළිදක්වා නැත.

මේ ඒ ගිරා පෝතක විසින් දක්වන්ට යෙදුන අදහස් සංක්ෂිප්ත පරිවර්තනයෙනි.

වැඩියෙන් කතා කරන්නට මම උගෙන නැත. නාද කරන්නට හැර කතාකරන්නට යමක් උගත්තානම් ඒ මිනිසුන්ගේ ඇසුර නිසාය. ඒ අනුව මට කීමට වඩා ඇත්තේ ඇසීමට ප්‍රශ්න කීපයකි. 

ඔබේ ඇසුරට කැමත්තෙන් නොවුනත් කලකදී මා එයට හුරුකළ හේතුවෙන් ඔබ අතරට පැමිණි මා මෙසේ සිරකළේ ඇයි?

කූඩුවක දමන්නට මා කළ වරද කුමක්ද?

කෑමත්, කලක සිට හුරුවූ ඇසුරත් පැතුවා මිස මා වෙතින් නොදන්නා කමින් හෝ සිදූ වූ හානියක් වෙත්ද?

ඔබේ කැමැත්ත නිසා මෙහි රැදුනා විනා කපටිකමෙන් මා මුළාකොට රදවාගන්නට ඔබට ඇති අයිතිය කුමක්ද?

අවසන් වශයෙන් ඔබලා බොහෝ සේ පීඩාවට කරදරයට හිරිහැරයට පත්වූ තැන දී ඔබ කියන වචන කිහිපයක් මා අසා ඇත. ඒවායේ ප්‍රබල තේරුම් ඇතැයි මම සිතමි. එහෙයින්ම අසමි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, හිමිකම්...කරුණාකර මේවායේ අර්ථය මට කියාදෙන්න. එය කියාදීමට නොදන්නේ නම් ඔබලා ඒ වචන භාවිතයට සුදුස්සෝ නොවෙති. මට ඇසී ඇති පරිදිත් මා තේරුම් ගත් පරිදිත් ඔබලාට සුදුසු තහංචි, අධිපතිවාද, කඩකිරිම් යන වචනයි.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම හිමිකම් ගැන කියූ කතා විශ්වාසයෙන් අසා ඔබ වෙතට පැමිණි මා කූඩුවක දමා සිරකළ ඔබට, මට ලබාදිය නොහැකි මේ වචනවල අර්ථ භුක්ති විදීමට අයිතියක් වෙත්ද? මාගේ අවසන් ප්‍රශ්නය එයයි.

 ඔබේ නිරාමිස කරුණාව අපට දෙන්න. ඒ අපට ප්‍රමාණවත්ය. අපේ කූඩු වීමේ අයිතිය ඔබේ කූඩුවට නොගන්න. එය ම‍ාගේ අවසන් ඉල්ලීමය.

මීට 

මෙතෙක්, නිදහසේ සැරූ පෙත්තා... 

වෙනුවෙන්, 

භාෂා පරිවර්තක

 

ප.ලි. පුංචි අතිශෝක්තියක් ඇතත් මෙය සත්‍ය සිදුවීමක් ඔස්සේ ලියවෙන්නක් බව සැළකුව මනාය. අද හරි අපූරු දවසක් ;)   

පෙත්තා ගේ අදහස ඔස්සේ මට හැගුණු දෙය නම් සුපිරි බව පසෙක තියෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයක් තබා නිදහස ගැනවත් අපට තේරෙනවාද යන්නය. තව කාලයක් යනකම්වත් අපට නිදහස ගැන අවබෝධයක් ලැබෙනු ඇතද යන්නය. එහෙව් මිනිසුන් විසින් අනුන් ගැන තබා තමන් ගැනවත් නිදහස් තීරණ කෙසේ නම් ගනු ඇත්ද?..‍‍‍‍.. තවම අපට ගැලපෙන්නේ කූඩුව ඇතුළේ ලැබෙන නිදහස පමණක්මය. අප විසින්ම කූඩුව ඇර අවංකවම තව කෙනෙකුට නිදහස දෙන්නට සිතන්නට නම් අප කූඩු කළ හොත් දැනෙන හැගීම පිළිබද ගැඹුරු අවබෝධයක් ලැබිය යුතුමය. තරහට හරහට යෑමේ තේරුමක් නැතිසේම කුඩා දරුවන් මෙන් ගැඹුරු අවබෝධයක් නැති මිනිසුන්ට ‍ලැබෙන නිදහසින්ද ඔවුන් තවමත් යන්නේ හරහටම නම්..?.

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

පවට බය නිසා පෙත්තා නිදහස් කොට හැරිය බවට ආරංචි මාර්ග අද උදෑසණම වාර්තා කළේය. පෙත්තා ගේ ප්‍රජා අයිතිය සුරැකීම සතුටකි. නිදහස ගැන කූඩු මානසිකත්වයකින් අවබෝධ කර ගැනීමට නොහැකිව පව සිහිපත් වීම නිසා හෝ ප්‍රජාතන්ත්‍රවාදීව සිතීම යහපත්ය. එසේ බැලූවිට කලෙකව අපට ලබාදුන් නිදහස අප විසින් ලබා ඇත්තේත් කොටු කිරීම පාපයක් නිසා ලබා දුන් නිදහසක් ලෙසින්ද? පිනට ලැබූ නිදහසක් ලෙස සමහරුන් නිදහස ගැන සිතන්නේ එනිසා වන්නට ඇතැයි මට සිතේ. කුමන අර්ථයකින් ලබා දුන්නත් එහි නිවැරදිම අර්ථය කවදා මුත් ග්‍රහණය කර නොගතහොත් ලැබී ඇති පමණින් වත් නිදහසේ ඵලය නෙලා ගැනීමට අප මිනිසා අපොහොසත් වනු නැතිද.