Monday, October 6, 2014

අද හරි අපූරු දවසක් ;)

    මේ වගේ එකෙක් නොවෙයි, පුංචි පෙත්තෙක් අද අපේ ගෙදර ආවේය. 

මේ අයුරෙන්ම පියඹා අවුත් අපි කීපදෙනෙකුගේ හිස මතින් උරහිසට බැස්සේය.

ජයෙන් නිවාඩු බවට පත්කළ දිනයකි අද. උදෑසණ ළිද අසල හිදිද්දී මගේ හිස පසෙකින් තටු ගසන හඩක් ඇසී මම කලබල වූයෙමි. පෙත්තෙක් මා හිස අසළින් පියඹා නිවසෙහි අනෙක් පසට ගියේය. තවත් මොහොතකින් මා දුටුවේ නිවසේ අනෙක් පසින් පියඹා ආ පෙත්තප්පු මගේ කාමරයේ ජනේලයේ වසා සිටින බවකි. අම්මා උෟ අසලට ගිය විට උෟ ඇගේ හිසට ආවේය. අත පෑ විට අතට ආවේය. අද උදෑසණ සිට පැය කීපයක්ම - තවමත් ඌ අප නිවසේය. හිසෙන් උරහිසට බසිමින් අතට ආ ගිරා පෝතකයා උගේ හඩින් මිස අපේ හඩින් නම් කතා කළේ නම් නැත. කොහේදෝ සිට පැමිණියත් ඌ මිනිස් වාසයක සිට පැමිණ ඇති බව පැහැදිලිය. නැතිනම් මෙලෙසින් මිනිසුන්ට කිට්ටු වන්නේ නැත. තවමත් නිවසින් එළියට යන්නට ඌට උවමනාවක් නැති සැටියකි. ඒ මේ අත යමින් දෙන දෙය කමින් තවමත් ඌ නිවසේය. හෙට තබා අද ‍රැයටවත් අප නිවසේ ඌ රැදේවිදැයි තවමත් කිව නොහැකිය. නමුත් බල්ලන්, බළලුන් නැති අප නිවසේ ඌට එතරම් හානියක් ද නැත. කෙසේ නමුත් කුඩා කළ ලියූ මගේ සුරතලා ගේ රචනාව සිහි කෙරෙන තරමට ඌ මගේ හිසිනුත් කීප වාරයක්ම උරහිසට බැස්සේය. නිවසේ තැනින් තැනට අපේ කරින් ගියේය. සුළු මොහොතකට පෙර මා පරිගණකය හසුරවද්දී ඌ උරහිස මත නිදි කිරුවේය. ඉතිං මේ පුංචි හිතවත්කමින් දැනෙන්නේ හරි අපූරුවකි. හරි අපූරු දවසකි අද මට සිතෙන්නේ එහෙයිනි. 

බලමු හවසට ගිරා පෝතක මිතුරාගේ ඉතිරි රග :)

9 comments:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

උදෑසණ 9ට පමණ පැමිණි පුංචි මිතුරා හවස 3ට පමණ අවට කුරුලු නාද මධ්‍යයේ සිය කැමැත්තෙන්ම ආපසු ගුවන්ගත විය. අමුත්තා කොහේ සිට ආවාදැයි අපි නොදන්නෙමු. කොහේ කොතැනට ගියාදැයි අපි නොදන්නෙමු. නමුත් ඌ ඇති කොට ගිය පුංචි හිතවත්කම නම් අපූරුය. මතකයේ රැදෙන එකකි එය.

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අපූරුද? පුදුමයක් වීමට කරුණු නැත. පෙත්තා අදත් උදයම ආවේය. දැන් කර මත නින්දේය. බලමු හෙටත් මතුවටත් ඒද කියා..

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අදත් එනු ඇති බවට සිතුනත් පෙත්තා අද නම් නාවේය. දුෂමාන ආරංචියකින් නම් කියවුනේ අපට තරමක් ඈතින් නිවෙසක ඇති කරන සතෙකු බවය මේ පෙත්තා. උගේ හැසිරීම අනුව මිනිස් අැසුරට හුරු බව නම් සියයට දෙසියයක් ඇත්තය. කෙසේ නමුත් නිවස ඇතුළත සවාරි මිතුරාටත් අපටත් අපහසු බැවින් නිවෙස පිටත යාබවම දණ්ඩක සවිකර උෟට එහි රැදෙන්නට අවකාශ සැලසුයේ ඊයේය. එතැනත් යාබද ජම්බෝල ගසක් මතත් අවට ගස් කීපයක් මතත් උගේ නිදහසේ ඌ සැරුවේය. කෑවේය බීවේය. අසල්වැසි කිහිපදෙනෙක්ද පෙත්තා දැක සතුටු වුනෝය. පෙත්තා තවත් දවසක එනු නැතැයි කිව නොහැකිය. ආවත් නැතත් අපෙන් උෟට බලපෑම් නැත. කොහොම නමුත් පෙත්තන් ඇසුරු නොකළ මට හරි අපූරු අද්දැකීමකි මේ පෙත්තා දුන්නේ නම්. ඉතින් ගිරා පෝතක පැටවෝ ඉඩක් ලද හොත් නැවත ඇවිත් යන්න...

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අද නාවේය. ඊයේ සංදේශයක් නොගෙනම ආවේය. ‍ගිරා පෝතක දැන් නම් ලග පාතට පැමිණිවිට නිවසට ගොඩවැදී යන්නට එන මිතුරකු නෑයෙකු වාගේය.. බත් මිටක්, ධාන්‍ය කරලක් කා යන්නට වරෝ වරෝ :) ආයෙත් ආයෙත්

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ආයෙත් ආයෙත් ආයෙත් ම තමා. දැන් පෙත්තා දිනපතාම වාගේ එන්නේය. කන්නේ බොන්නේ නම් පමණක් නොවේ. උරේ ලැග ඉන්නේය. බොරු නොකියන මා විශ්වාසයට ගන්න මේ ලියන මෙ‍ාහොතේත් උෟ මාගේ උරේ සිටී. සත්ත්ව කරුණාවට බුද්ධිමත් පුංචි සීමාවක් දා නොගත්තොත් උෟ මාගේ උරේ කැත තරනවා සිකුරුය. පොඩි සතෙක් එහෙම කළත් මොකෝ.. එ්ත් ආපසු එළියෙන් ගිහින් තියන්න තරම් වේලාවක් දැන් උෟ උරයේය. අරගෙන යමි පෙත්තා එළියට..

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අද හරි අපූරු දවසක් කියා දින කීපයකට පෙර ලියූ මට අද හරි කණගාටු දවසකි. ඊයේ සවස තෙක් නිදහසේ අප මානයේ සැරූ පෙත්තා අද අසල්වැසි නිවෙසක නිවැසියන් විසින් කොටුකරගෙන සිටින බවට වගතුග දැනගන්නට ලැබී ඇත. කන්න බොන්නට දී ඕනෑම නම් දරුවන් පාසැල් ඇරී එන තෙක් මදක් රදවා ගෙන -සතුන් කූඩු කර ගැනීමට වඩා සතුන්ට කරුණාවන්ත වීමෙන් මෙලෙස උන් හිතවත්ව මිනිසුන් හමුවට පැමිණෙන බවත් කියාදී පෙත්තා ගේ නිදහස ඌට‍ භුක්ති විදීමට ඉඩ දීමට ඔවුන්ට නොහැකිවීද? එසේ කළා නම් කොයි තරම් අපූරුද?.‍ මට හිමිකමක් නැතත් උගේ හිමිකම උෟට අහිමි නොකිරීමට උදේ හවා බණ අහන රටේ කාටවත් අමුතුවෙන් කියා දිය යුතුද? මිනිසුන් වන අපේ යුතුකම විය යුත්තේ සතුන්ට අවැසි කරුණාවෙන් ඌට සංග්‍රහ කිරීම මිස අපේ කරුණාව වෙනුවෙන් උන් කූඩු කර ගැනීම නොවේ.

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

පවට බිය නිසා පෙත්තා නිදහස් කොට ඇති බව උදෙන්ම ආරංචි විය. අර උදේ සිටන් කියන බණ නිසාවත් යමක් සිදුවූවා නම් යහපති. නව දැනුම දීම කෙසේ වෙතත් යහපතක් සිදු වීමට නම් තවමත් පරණ බණ මෙහෙට ඕනෑය.

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

දින කීපයක් ගත වුවත් පෙත්තා තවම නම් පැත්තටවත් නොආවේය.අසල්වැසියන්ගේ කෙරුමක මහත. මිතුරු කම අසල සතුරු කමක ඉව පෙත්තාට දැනුනු හැටියකි. අපට එනිසා පුංචි පාලුවක්ද මේ දින වල නොදැනුනා නොවේ.

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

අදත් හරි අපූරු දවසකි. පලා ගිය පෙත්තා යළි අපේ නිවසට පැමිණ ඇත. ඌ වෙනුවෙන් එලියේ තැනූ පුංචි ඉඩේ කෑම සොයයි. අපි ගැන මිතුරු හැගීම මොන හේතුවෙන් හරි යළි මතුවී තිබේ. අපි කාගේත් සත්ව කරුණාව තව තවත් වැඩෙත්වා :)