Friday, October 16, 2026

සංවෘත ආගම සහ විවෘත දහම (හෙට සහ අනිද්දා වෙනුවෙන්)

- පින්තූරය  ai -

ආගමක් පිළිගන්නා පිරිසක් තුළ සංවෘත කිරීමට වඩා දහමක් නොපිළිගන්නා අයට පවා විවෘතව තිබීම එහි අරමුණෙන්ම දහමකට අදාළය. එය ආවෘත කොට සංවෘත කවයකට සීමා කිරීමට යාම තවදුරටත් ආගම දහමෙන් නූතන මිනිහා වෙන් කෙරෙන ප්‍රධාන බෙදුම් රේඛාවක් වනු ඇත.

ආගම දහම සමඟ බැදුණු මහපොළවේ සංස්කෘතිය අසීමාන්තිකව උලුප්පා එවැනි බෙදුම් රේඛා නිර්මාණය නොකළ යුතුය. එයින් සිදු වන්නේ පුළුල් දහමක් සංස්කෘතික හුණ්ඩුවක සිර කිරීමකි.

සංස්කෘතිය අපට වුව දහම මිනිස් වර්ගයා වෙත විය යුතුය.

යාවත්කාලීන විය යුතු දේ සංස්කෘතීන් තුළ යාවත් කාලීන වද්දී ආගම හෝ දහම එබඳු අයුරෙන් යාවත් කාලීන නොවන ලෝකයේ ධර්මතා කියාපායි. නමුත් සංස්කෘතිය තුළ දහම සිරකරන්නට යෑමෙන් දහමේ අනන්‍ය බව සංස්‌කෘතිය සමඟ යාවත්කාලීන කරන්නට දරන උත්සාහයක් මතුවේ.

ආගම දහමේ අධ්‍යාපනික අධ්‍යාත්මික සහ ප්‍රතිපදාවන් තුළ බිහි වූ ප්‍රඥාවක් වෙත් නම් සමාජක් තුළ මේ අරමුණු සහ භාවිත පරස්පරතාව මතු වීම සීමාකාරී වෙයි.

එනම් ආගම දහමේ අරුතින් එතුළින්ම බිහිවූ ඥාන මණ්ඩලයකින් ආගම දහම සමාජ ගත වීම විනා සමාජ සංස්කෘතිය අතික්‍රමණය කරමින් බලවාදයක් හෝ අන්තවාදයකට ඉඩක් නොමැති වෙයි.

ඒ ඥාන සංකල්පය ආගම දහමේ අරමුණත් භාවිතයත් අතර සුවිශාල පරතරය අවබෝධයටද මගක් වෙයි. 

බල ව්‍යාපෘති, දේශ සීමා පුළුල් කර ගැනීම් උදෙසා උපක්‍රමිකව ඈඳා ගත් ආගමත් ආගමික ව්‍යාප්තිය උදෙසා අනෙක් අතට භාවිත වූ දේශපාලනයත් යනු ලෝකයේ එක් එක් අවධිගත මූලික භාවිතයන් වුවද ආගම දහමේ පරමාර්ථ සැළකීමේදී එය එතුළ ප්‍රමුඛතාවක් හෝ තවදුරටත් අනාගතය උදෙසා වලංගු සාධකයක් නොකළ යුතුය. 

ඉතිහාසයේ සේම කවර කලකත් සංස්කෘතියේ පමණට ලඝු වීම තුළ ආගම හෝ දහම එහි භාවිතය සැබෑ අර්ථයෙන් ගිලිහී කොතරම් පුළුල් වුව සංවෘත කවයකට පටුවේ. එවිට විවෘත විය යුතු දහම තවදුරටත් ඒ අර්ථයෙන් පවතින්නේ සංස්කෘතික හෝ ඒ අනුසාර නීති රීති සීමා තුළ විවර වන ඉඩකඩ තුළ ඇති පත පොත, ලිපි රචනා, නිර්මාණ තුළ  හෝ හුදෙකලාව තුළ පමණි.

No comments: