දුක මැජික් ද ඇසුවාට සමාන ලෙසින් පහසුවෙන් අර්ථ ගැන්විය හැකි ප්‍රශ්නයකි, ඉහත ප්‍රශ්නය. නමුත් සරල උපහාසයකින් මඟනොහැර හොඳින් විශ්ලේෂණය කොට ගත් විට අප සමාජයේ අඳුරු පැතිකඩක් සපුරා ආලෝකමත් කළ හැකි ශක්ති ප්‍රභවයක් මෙතැන ඇත.
එය මැජික් නොවන්නට නම් මේ කතාව පැහැදිලිව කියවා අවබෝධ කොට ගත යුතුය.
දුක් උපදවන සිදුවීමක් දෙස කම්පිත ඇසකින් බලා හිඳින්නෙකු ගෙන් දිනපතා ඒ සිදුවීම් තුළ ගැටෙන හැපෙන අයෙකු දුක මැජික්ද? ඇයි ප්‍රශ්නයක්ද? වැනි දෙයක් අසන්නේ නම් අනෙකා වටහා ගත යුත්තේ අදාළ සිදුවීම අතිශය සාමාන්‍යකරණයෙන් ගත යුත්තක් බවද..? බොහෝ කොට සමාජයන්හි භාවිත තත්වය එයය. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ අනිකකි.
සිද්ධාර්ථ දුකට විසඳුම් සොයන්නේ ඒ සත්‍ය ගැඹුරින් හෙළි කරමිනි. ලෝකයේ බොහෝ නිර්මාණ, සොයා ගැනීම් ඒ මාර්ගය ඔස්සේ පැමිණි ඒවාය. ගහක් කොළක් නිරපරාදේ විනාශ කිරීම ප්‍රශ්නයක් කොට ගත් මිනිසුන් කිසිදා ගහකොළෙන් පරිසර ප්‍රශ්න හදන්නේ නැත. ඇළ දොළෙන් සතා සීපාවා ගෙන්ද එලෙසමය. මිනිසා තවත් මිනිසෙකුට හිංසා පීඩා කිරීමද ප්‍රශ්නයක් කරගන්නා මිනිස්සු කිසිදා ගහමරා ගෙන ප්‍රශ්න විසඳා ගන්නට යන්නේ නැත. ඔවුන්ට ඒ සඳහා අමුතු නීති උවමනා නැත.
අනුන්ගේ ගෙවල් දොරවල් අස්සට එබී බලන්නට ඒවායේ ප්‍රශ්න හොයන්නට කිසිවෙකුටත් රාජකාරිමය වශයෙන් තොරව අයිතියක් නැත. එයින් තොරව පොදු වශයෙන් දකින පෙනෙන ඇහෙන ඕනෑම දෙයක් තුළ අපට ප්‍රශ්න තිබෙන්නට පුළුවන. ඒවා නොදුටුවා නොදැක්කා සේ සිටීමටද කිසිවෙකුගෙන් තහනමක් නැත. නමුත් එසේ හිඳීම හේතුවක් වීම නිසා නිර්මාණය වන ගැටළු මතු දිනෙක ඔබට බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය කළ හොත්, එවිට ඔබේ ස්ථාවරය කවරාකාර වේවිද? ඔබ ඔබටම චෝදනා පත්‍ර ලබා දෙනවාද?
මෙය අප සමාජය මේතාක් පිරිහෙලන්නට බරපතළ ලෙස දායක වූ එක් ප්‍රධාන සාධකයකි. අපට අදාළ නැතැයි සිතමින් ප්‍රශ්න මඟ හැර ජීවත් වෙන්නට ගොස් මහා පාඩුවක් සිදුකරගත් රටක් ජාතියක් බවට අප අද පත්ව ඇත්තේ එනිසාය.
නිදහසේ දුකෙන් තොර සැපතක් භාවිත ලෝකයේ නැත. සිද්ධාර්ථ දුකෙන් ගැලවීම උදෙසා සියල්ල අතහැර ගියේය. දුකට හේතුව නසා මිස දුක සදා ජය ගත හැකි අන්‍ය මාර්ගයක් අප සොයාගෙන තිබෙනවාද?
දුක සදා ජයගැනීම තිබියදී අපට ඇත්තේ සැනසිල්ලේ ජීවත් වීම පිළිබඳ අවශ්‍යතාවයකි. එවිට එතැනට බාධා කරන සියල්ල හැමදා අපට ගැටලුය. මේ ගැටලු ඇතැම් විට ස්වභාවිකය. ඒවාට පිළියම් යෙදීමත් ඒ පිළියම් තවත් ප්‍රශ්න බවට පත් වීමත් අපට ඇතිකරන්නේ තවත් ගැටලුය. අපට පමණක් නොවේ, අපේ සමහර පිළියම් සමස්ථ පරිසර පද්ධතියටම විනාශකාරී ගැටළුය. ඉතිහාසයම එලෙසය.
ප්‍රශ්න ප්‍රශ්න හැටියට පළමුව නිවැරදිව නොදැකීමේ ප්‍රතිඵලයන් සංකීර්ණය. තිරසර බවකින් ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම වැදගත් වන්නේ එවිටය.
සදාකාලික පන්නයේ පිළිතුරු නැතත් දීර්ඝකාලීන යහ පැවැත්මක් වෙනුවෙන් පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්න ඇත. ඒ අනුව,
ඇයි ප්‍රශ්නයක්ද?
උත්තරය,
ඔව් ප්‍රශ්නයක්.
විය යුතුමය.
වඩා වැදගත්ම අවධාරණය එන්නේ මීළඟටය. එනම් මේ සියල්ල අතරේ හේතුවක් නිමිත්තක් නැතිවම මිටියට ඇණය පරිද්දෙන් සියල්ල ප්‍රශ්න කරගැනීමේ අවස්ථාවය. නැති ප්‍රශ්න හදන පිළිතුරු නැතිව ප්‍රශ්න පමණක්ම දකින පෙනෙන එකය.
මේ කිසිවිටකත් එවැනි කොරහේ කිඹුල්ලු දකින හෝ වලිගයෙන් අල්ලා ප්‍රශ්න පටලවා ගැනීම යන අවුල් ගැන නොවේ. ප්‍රශ්න වගාකොට මුදල් සෙවීම නොහොත් වවාගෙන කෑම ගැනද නොවේ.
නිවැරදි පදනමෙන් ප්‍රශ්න දැකීම ගැනය. ගත යුතු ප්‍රශ්න මඟහැර යාමේ ප්‍රශ්නය ගැනය. ඉදිරියේ නිර්මාණය වන ප්‍රශ්නය කල් තියා නොදැකීම ගැනය. ප්‍රශ්න අසා පරීක්ෂණ කරමින් නිරීක්ෂණ ඒ ඔස්සේ නිගමන ගෙනෙන විද්‍යාත්මක ක්‍රමය ගැනය. ප්‍රශ්න වටහාගෙන ප්‍රතිඵලයට හේතු කරුණු හොයා හේතුවෙන් ඵලය බිඳින වෙනස් කරණ හේතුඵල ධර්මය ගැනය. ඒ තුළින් අප සමාජයේ අඳුරු පැතිකඩක් සපුරා ආලෝකමත් කළ හැකි ශක්ති ප්‍රභවයක් ගැනය.
එසේ නම්, ප්‍රශ්නය විදුලි පන්දමක් කරගන්න. අවියක් නොව සවියක් කරගන්න.


No comments:
Post a Comment