Friday, August 29, 2014

කවදා තේරුම් ගනීද මේවා...

අපි වර්ජන කරන්නේ ආණ්ඩුවට අපේ රුදාව දනවන්නටයි. හැබැයි අපේ බොහෝ වර්ජන වල විලිරුදාව විදින්නේ මහජනයායි. නමුත් අපේ උදවිය හිතන්නේ මහජනයා විදවීමෙන් ආණ්ඩුවලට රිදෙන බවකි. ආණ්ඩුවට පහර වැදෙන බවකි. එ්ත් මහජනයා බනින්නේ වර්ජන කරන උන්ටය. අවසන එකිනෙකාට රිද්දාගන්නේ උන් හා මුන්ය. එනම් දෙපිළ බෙදෙන මහජනයාමය. අර එක් ආගමික ශාස්තෲන් වහන්සේ කෙනෙකුට දුන් මරණ දඩුවම තමාගේ තීරණයක් නොවේ යැයි අත හෝදා ගත් පිලාත් ලා මෙන් අපේ මැති ඇමැති ගොල්ලත් දෙපැත්තට රිද්දාගන්නට දී අත් හෝදා කටවලුත් හෝදා ගනිති. වගකීමක් හිස දරා ඒ වෙනුවෙන් තම තනතුරින් පවා ඉල්ලා අස්වන්නට හිතන එකෙකු අපේ මැති ඇමැති අතර නැත. ඔට්ටුවලට, ගොන් කම් වලට ඉල්ලා අස්වෙන්නට මාධ්‍ය තුළ හඩ තැලීමට පමණි උන් දන්නේ. අනේ ඉතිං ඇදගන්නේ අපම තමා. ඇන්දෙන්නේ අපම තමා. වගකීමත් අපෙම තමා. ඔවුන් බබාලා, අපි විසින් නළවන තොත්ත බබාළා...

ඉතිං වර්ජනයෙන් දෙන ගර්ජනය ආණ්ඩුවට කෙසේවෙතත් මහජනයාට දැනෙනවා. පෙරළා ඔවුන්ගේ ගර්ජනයත් ආණ්ඩුවලට නොව තමන්ට සේවය නොදෙන උන් වෙත. ඉතිං අර වර්ජන වල බලපෑමෙන් රිදෙන්නේ කාටද? වඩා හොද නැතිද තමන්ගේ සේවය නිසි ලෙස කරලාම මහජනයාගේ හිතත් හිසත් දිනාගෙනම විරෝධය පාන්නට වෙනත් ක්‍රම ‍සොයා ගැනීම, කල්පනා කර බැලීම. මොකද, ආණ්ඩුවෙන් අපේම සල්ලි හොලවල සොච්චම් විජ්ජාවක් කළාම මිනිස්සු ආපහු ඒකටම යට වෙන නිසා. බොහෝ වෙලාවට නිවැරදි තීරණයක් ගන්න හයිය තියෙන්නෙ දාහෙන් කෙනෙකුට, එ්කත් නිවැරදි වෙලාවෙ වෙන්නෙ තවත් දාහෙන් ‍එක් අවස්ථාවක.

එ් නිසා ආණ්ඩු පෙරළෙන තරමට නො‍එන වර්ජන  ආපහු කරන අතටම කැරකෙනවා. ආණ්ඩු සුද්දයි. කරපු උන් හා විදින මුන් දත් නියවනවා උනුන්ටම. ඉතින් ඔය අවසානය වෙනස් කරගෙන ප්‍රතිඵලයක් දකින්න නම් වෙනස් විදිහකට හිතන්න වෙනවා. 

මහජනයා නොරිදවා, 

සේවය නොවරදවා, 

බැති පෙම් උපදවා, 

වැඩය කරගත යුතුයි සොදවා...

දූ දරුවන්ට ගහනකොට අම්මලා තාත්තලාට රිදුනට මොකද, මහජනයාට ගැහුවට අපේ ආණ්ඩුවලට රිදෙන්නෙ නෑ කියල දැනගත්තොත් ඇති. ඒ ගොල්ලො ඡන්දෙ ගන්නෙත් අපේ අය ඡන්දෙ දෙන්නෙත් වෙනමම දේවල්වලට...අර අයිස් බකට් වගේ, නැත්නම්  ගස් බැදීම වගේ.. ඒවයි සුදුසුකම්. 

ඉතිං දෙපිළ තුන්පිළට බෙදී අපිත් කරමු ඡන්ද කාලෙට දේසපාලන සෙල්ලම. අවුරුදු ක්‍රීඩාවලටත් වඩා ඒක හරිම විනෝදයි ...

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ලස්සනම කතාව සියලු මාධ්‍යන්ට මේවා හොට් නිව්ස් නිසා ඒව කූල් වෙනකම් එයාලට ගජරාමෙට වැඩ ඇතිවීම, මහජනයා වෙනුවෙන්. ඉතින් අර සෙල්ලමේ හොදම රූප රාමු මහජනයා වෙත ගෙනයාමට එයාල යුහුසුළු වෙනවා. ඒව බලල අපි එක එකා එක එක කතා කියනවා. කාලයාගේ ඇවෑමෙන් රට එක තැන පල්වෙනවා, දිනාගන්න යනවා වගේ පෙනුනට එකමුතු කමක් නෑ. එක එකා තනියම ටීම් ගේම් ගහන්න යනවා. වැරදුන තැන්වලදි හිස අතගාල බැලුවනම් අහුවේවි, හේතුව - අපට කියන්න හිතෙනවා එහෙම