Thursday, August 21, 2014

මගේ ඉදිරි දැක්ම - ඔබට ස්තූතියි.

හැමදේම එකය. නමුත් එකක් හැමදේ නොවන නිසා එක එක වෙන් වශයෙන් විස්තර කෙරේ. නමුත් අවසන සියල්ල එකය. ඔබත් මමත් ගණනින් දෙදෙනෙකි. ඔබ පිරිමියෙක් නම් මමත් පිරිමියෙක් නම් එතැන ගණය පිරිමිය. ඔබ ගැහැනියක් නම් මම පිරිමියෙක් වුවත් එතැන අප මිනිස් ගණයේය. ඔබද මිය යනු ඇත. මමද මිය යනු ඇත. එතෙක් අප දෙදෙනාම ආහාර ගන්නෙමු. ඒ දෙතැනක හිදය. ගන්නා ආහාර වර්ගද විවිධය. එහෙත් අප දෙදෙනාම එකලෙස ආහාර දිරවා එක ලෙස බැහැර කරන්නෙමු. ඔබේ දේශගුණය සෞම්‍ය කළාපික වනු ඇත. මා උෂ්ණ කළාපයක වනු ඇත. ඔබේ පැහැය එකක් වද්දී මගේ පැහැය තවකක් වනු ඇත. එහෙත් අප ව්‍යුහාත්මක වශයෙන් එකම විශේෂයක වන්නෙමු. ඔබ මුහුණ දෙන අද්දැකීම් විවිධය. ඔබේ වයස මට වැඩි හෝ අඩුය. මගේ අවශ්‍යතා එකක් වද්දී ඔබේ අවශ්‍යතා තවකකි. එහෙත් අප දෙදෙනාම නින්දත් නොනින්දත් දෙකම ලැබ දිවි ගෙවන්නෝය. ඔබේ පවුලේ සාමාජිකයින් ගණනින් බොහෝ වන්නට පිළිවන. නැත්නම් පවුලේ එකම දරුවා ඔබ වන්නටත් පිළිවන. මගේ තතු ඊ‍ට ඉදුරාම වෙනස් විය හැකිය. එහෙත් අප දෙදෙනාම එකම මූලයකින් බිහිවූවන්ය. ඔබට දරුවන් ද සිටිනවා විය හැකිය. මා විවාහකයෙකු නොවන්නට ද පිළිවන. එහෙත් පුද්ගල භූමිකා වලින් තොරව ගත්විට අප දෙදෙනාම ලෝක වාසී මනුෂ්‍යන්ය. අපට ලැබෙන සැලකීම් පිළිගැනීම් විවිධ වන්නට පිළිවන. එහෙත් අප දෙදෙනාම උපතත් විපතත් අතර දිවියකට හිමිකම් කියන්නන් පමණය. ඔබ මට ඔබේ අදහස් නොකීවා වන්නට පිළිවන. මා මගේ අදහස් ඔබට කීවා වන්නට පිළිවන. මම ඔබ නොදන්නවා වන්නට පිළිවන. ඔබ මා නොදන්නවා වන්නට පිළිවන. එහෙත් අප ලෝකයේ කොහේ  හෝ දිවි ගෙවන්නන් බව අපට විශ්වාසය. එනම් අප ජීවින් බව අපට විශ්වාසය. එයිනුත් මනුෂ්‍යන් බව තව දුරටත් විශ්වාසය. සිංහලය දන්නා බවට ඉදුරාම පැහැදිලිය. ඒ එකම සිංහලය දන්නා නිසා ඔබත් මමත් අතර මනුස්සයා යන්න හැර සියල්ල වෙනස් වුවත් තවත් එක දෙයක් සමාන විය යුතුමය. එනම් සිංහලය දන්නා එකය. දන්නා සිංහලය අප එකි නෙකා වටහා ගන්නා අකාරය විවිධ වන්නට පුළුවන. ඔබ හරි යැයි සිතන දේ මම වැරදි යයි සිතනු ඇත. සමහරවිට එකම දේ අප දෙදෙනාම සිතනු නැත්ද? මම මා ගැන බොහෝ කොට තේරුම් ගෙන ඇත. ඔබ ඔබ ගැන බොහෝ කොට තේරුම් ගෙන තිබෙනවා විය හැකිය. ඔබෙන් මට ඵලක් නැතිද? මගෙන් ඔබට ඵලක් නැතිද? මිනිසෙකුට තවත් මිනිසෙකු‍ ගෙන් ඵලක් තිබෙන්නේ ගනුදෙනුවකදී පමණක්ද? මම පරිගණකය ඉදි‍රියේ හිදින්නෙමි. ඔබත් පරිගණකය ඉදිරියේ හිදින්නෙහිය. ඒ එකම වේලාවේක නොවනු ඇත. ඔබ යමක් කියවනු ඇත. ලියනු ඇත. බලනු ඇත. මමද යමක් කියවමි ලියමි බලමි. ඒ එකක්ද නොවනු ඇත. එහෙත් දෙකක්ද නොවේ. ඔබටත් මටත් බලන්නට ඇති දේ වල එකම වෙනස රට රට වල තහනම් කොට ඇති දේ පමණි. ඔබත් ලෝකය දකින්නෙහිය. මමද ලෝකය දකින්නෙමි. ඒ එකම ලෝකයකි. නමුත් එකම ආකාරයෙන් නොවේ. කිසිසේත්ම එකම ආකාරයෙන් නොවේ. එ්ත් අප දෙදෙනාම ජීවත් වන්නේ දෙරටක වුවත් එකම රටක දෙතැනක වුවත් එකම ලෝකයේය. ඔබේ පැවැත්ම මමය, මම කියමි. ම‍ගේ පැවැත්ම ඔබය, ඔබ නොකිව්වත් මම කියමි. තවත් මිනිසෙකු නැති ලෝකයක ඔබට පැවතිය හැකිද? මට පැවතිය හැකිද? උත්තරයක් මෙතන ලිවීමට අවැසි තරම් ‍ඔබ හෝ මා බුද්ධියෙන් මන්ද නොවෙමු. එබැවින් මට සහය දුන් ඔබට ස්තූතියි. මගේ ඉදිරි දැක්ම හැදෙන්නේ සියල්ල එකක් බව වටහා ගැනීමෙනුත් එකක් යනු සියල්ල නොවන බව තේරුම් ගැනීම තුළත්ය. ඒ අවබෝධය ලබා දෙන්නට මට පිටිවහල් වූයේ ඔබය. එබැවින් නැවතත් ඔබට ස්තූතිය. දිනෙක අප හමුවන්නටත් කෙදිනකවත් මේ අවකාශයෙන් පිට අප හමු නොවන්නටත් පිළිවන. එහෙත් යහපත පතන ඔබට පිං...සිංහලය තේරෙන අපට එකිනෙකා කෙරෙහි මෙත් සිතින් දිය හැකි එකම තුතියෙන් මම ඔබට සංග්‍රහ කරමි. 

අවසන් වශයෙන් කියමි, මගේ ඉදිරි දැක්ම ඔබයි. ඔබ දෙස බලා ‍මම ශක්තියක් ලබමි. ඒ ශක්තියෙන් මගේ ඉදිරි දැක්ම නිරන්තරයෙන් පෝෂනය වනු ඇත. ඔබට ජය.

ශුද්ධ වූ රස්තියාදුව ජීවිතය ඇතිතෙක් නිමි නොවේ. හිතට එකගව වැරද්දෙන් තොරව ජීවිතය දිනන්නට අප හැමට ශක්තිය...වේවා. 

 මිනිසුන් හැටියට ඉපදී යහපත් මිනිසුන් හැටියට මියයමු.

No comments: