Thursday, August 7, 2014

සද්ධර්මය ම පමණයි පිළිසරණ

ඔබ මගේ පිට කසන තාක් මට කාංසියක් නොදැනේ. ඔබේ පිට මා කසන තාක් ඔබට කාන්සියක් නොදැනේ. එහෙත් දිනෙක ඔබත් මාත් සදාකාලිකව තනි වන්නෙමු. ඒ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් නොමැති දිනයේ අප පිළිසරණට හිදින්නේ කව්ද? සද්ධර්මය නොදන්නා එතැන අසරණය. ලෝකය දිනූ අධිරාජ්‍යන් වේවා, මහ මග යදින සිගන්නෙකු වේවා එදිනට වෙනසක් නැත. කුඩා කල කාගෙවත් පිට නොකසන අපගේ පිට කසන්නට බොහෝ දෙනා සිටිති. එහෙත් ක්‍රමයෙන් වැඩෙන විට ඒ උදවිට අපෙන් ඈත් වෙති. ඒ මිනිසාගේ සොබා සංස්කෘතියේ හැටියකි. ඒ ඈත්වීම රටින් රටට ගමින් ගමට වෙනස් වූවාට ඔය කොයි පෙදෙසෙත් එදාට වඩා අද වැඩිය. එය කාලයේ හැටිය. ඉතින් මහ මිනිසුන් වූවාට පසු යාළුවෙකු, සොහොයුරෙකු හැර දෙමාපියන්ගෙන් තොරව නම් බොහෝ දෙනා අපේ පිට කසන්නට එන්නේ නැත. යාළුවා හෝ සොහොයුරා හෝ බොහෝවිට එන්නේත් අප ඔහුගේ හෝ ඇයගේ පිට කසන තරමටය. ස්වාමි භාර්යා සබදතාව ගැන මා කතාකරන්නට යන්නේ නැත. සමහරවිට එය සොදුරු අන්‍යො‍න්‍ය පිට කසා ගැනීමක් වන්නට පුළුවන. කෙසේ හෝ ලෝකයේ ඇත්තේ මේ පිට කසාගැනීම්ම පමණකි. මේ පිට කසා ගැනීම් නොවන්නේ සද් ධර්මයක් ඇති තැනක පමණකි. තමන්ගේත් අනුන්ගේත් පිට කැසීමෙන් තොර නිරාමිස සතුටක් භුක්ති විදිය හැක්කේ, සැනසුමක් අත්විදිය හැක්කේ එතැන පමණකි. එබැනින් තතු දන්නෝ තමන් වටා ඇති කුණු කසළ මඩිමින් ඉදිරියට එන්නේ එබදු වූ සද්ධර්මය සොයාය.

මේ සත්ධර්මය යනු සමාජ සම්මතයක් නොවේ. එලෙසින්ම අසම්මතයක්ද නොවේ. සම්මතය කලකින් කලකට වෙනස් ‍වනවා සේම ඊට විරුද්ධාභාස ඇති අසම්මතයද සම්මතයේ තරමට වෙනස්වේ. ඒ අන්ත දෙකක් පමණි. විටෙක සම්මතයේ පැත්තක සිටිනා සද්ධර්මය විටෙක අසම්මතයේ පැත්තක ද සිටී. එවිට සම්මතයින්ද අසම්මතයින්ද ඒ කොන් අල්වා ගෙන තර්ක මවති. නමුත් සද්ධර්මය යනු එබදු අන්ත දෙකක් නොවේ. සම්මතයෙන් පහර කෑවෝ අසම්මතයට නැඹුරු වෙති. අසම්මතය පිළිකුල් කරන්නෝ සම්මතය වැළදගනිති. එහෙත් මේ දෙකම හුදු මත පමණකි. සද්ධර්මය යනු හුදු මතයක් නොවේ. එය ජීවනය තුළ යථාර්තයයි. ජීවිතය තුළ යථාර්තයයි. ලෝකය හා විශ්වය තුළද අපට ගෝචර කර ගත හැකි එකම සත්‍ය සද්ධර්මය පමණි. 

දාඩිය පිළිකුල් කර සුවදවිලවුන් තවරා ගත් පමණින්. සැපදායක ඇදුම් පැළදුම් ඇගට දා ගත් පමණින් අපට මැඩිය හැක්කේ කවර ධර්මයක්ද? එයින් අදහස් කරන්නේ දාඩිය පෙරමින් ගද ගසමින් සිටිය යුතු බවද? නැත. යථාර්තය නම් සත්වයා සම්බන්ධ කිසිදු ධර්මතාවක් අපට මැඩිය නොහැකි බවය. එබැවින් සුවද විලවුන් තවරා ගෙන දාඩිය පිළිකුල් කිරීමවත් නැත්නම් දාඩිය පෙරාගෙන ගද ගසමින් හිදීමවත් සැනසීමට මගක් නොවේ. දහදියට එහා ගිය මරණයක්ද අප ශරීරයට ඇති බව වටහා ගනිමින් දහදියෙන් ආතතිය ගැනීමත් ගලා යන දහදිය ‍පිස නොදැමීම යන අන්ත දෙකෙන්ම මිදී එ් මොහොතේ දහදිය පිස දමා ගැනීමෙන් එ් මොහොතේ සැනසීමය. වටහා ගත යුතු සත්‍ය නම් සත්ව ශරීරය සම්බන්ධ සමහර දේ කල් දමා ගැනීමට අපට හැකත් සදාකාලික ජීවනය මේ ශරීරයේ අපට ලැබිය නොහැකි බවය. 

යථාර්තය සගවා සතුටුවෙන්නට ජීවිතය අරඹන අවදියේ සිට අපි උගනිමු. අපට උගන්වන්නේද එය හරියට කරගන්නා හැටිය. නමුත් යම් දිනක අපි කව්රුත් වටහා ගන්නා දෙයක් නම් මේ යථාර්තය ජීවිතයේ යම් යම් තැන එලිබහින බවය. කදුළු තද කොට හිනැහුනාට අපට හිත විදවන දුකෙන් මිදිය හැකිද? ඉන් මිදිය හැකි එක මගක් ඇත. ඒ සද්ධර්මය දැන ගැනීමයි. ජීවිතය යනු සැපය පමණක් ලැබෙන දෙයක් නොවන බව අප වටහා ගතහොත් පමණක් නොවේද  අපට දුකෙහිදී සැනසීමක් ලැබිය හැක්කේ. පහසුවෙන්ම ජීවිතයේ යථාර්තය පසක් වෙන පරිසරයක, එය කියාදෙන සද්ධර්මයත් දැක දැකම අපි අපේ රටක ඒ හරය ඉවත ලමින් සිටින්නෙමු. අපරදිග ක්‍රමයට ජීවිතය විචාරමින් රස්තියාදු ගසන්නෙමු. බුද්ධිය ම මුල් කොට එහි අක්මුල් තුළ පමණක් සත්‍ය සොයන්නෙමු. එය හරියට ලොව දියුණුම පරිගණක වලින් විදුලිය නැතිව වැඩ ගැනීමකට සමානය. එසේ කියන්නේ පද්ධතිය කොතරම් දියුණු වුවත් ඊට ශක්තිය සැපයෙන හිත හෝ පද්ධතිය නිසා හට ගන්නා චිත්තය පද්ධති සමාන වූ පමණින් ක්ලෝන නොවන බව අපට තේරුම් යන නිසාය. එබැවින් භෞතිකව ඒකාකාර පදනමක යන සත්ත්ව ශරීරයම වුව ජානමය වශයෙන් කොතරම් සු විශේෂී වෙත්ද, නොපෙනෙන චිත්තය ඒ පදනමෙන් වුව මැනීම කොපමණ අයුරකින් ප්‍රමාණවත් වෙත්ද? එය ඵලදායී නැති නිශ්ඵල ක්‍රියාවකි. ශරීර සුවය හැදුනත් එදිනෙදා දිවිය බෙහෙත් සමග කොපමණ අවුල්වේද, චිත්ත හෝ හිත කම්පන සංඛ්‍යාත හෝ තරංග ආයාම අතරින් නිරවුල් කිරීම පිස්සු නැත්නම් පමණක් හොදය.   

එබැවින් සද්ධර්මය හමුවේ ගණිතය හෝ විද්‍යාව තවත් එක් විෂයන්ම පමණි. එබැවින් පැවැත්ම උදෙසා ගණිතය විද්‍යාව උගත්තත් වටහාගත යුත්තේ සද්ධර්මයි. එබැවින් පැවැත්ම උදෙසා රංගනය කළත් සැනසුම ඇත්තේ සද්ධර්මයේ බව ස්ථිරයි. එබැවින් හොයාගත යුත්තේත් උඩගු කමින් අප රැස් කරන කුණු කසළින් අප තුළම වැළලෙන සද්ධර්මයයි.


1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

සත්වයා සම්බන්ධ කිසිදු ධර්මතාවක් අපට මැඩිය නොහැකි බව කීවේ අප කළ යුත්තේ නිකං බලා සිටීම බව කීමට නොවේ. ධර්මතා අවබෝධ කළයුතු බව කීමටය. සැනසුම යනු ධර්මතා අවබෝධයෙන් තවදුරටත් එමගින් මැඩීමෙන් මිදීමක් නොවේද. මා වටහාගත් පමණට සද්ධර්මයෙන් අපට පෙන්වන ඉම වන්නේ එබදු ධර්මතා නිසා තවදුරටත් පීඩා වශයෙන් සතුටු හෝ දුක් චිත්ත නොඉපදවා ධර්මතාව ජය ගැනීමයි. සැබෑ දිනුම යනු වාසනාවක් නොවන්නේ එතැනය. ධර්මතා අවබෝධය පිණිස මම මා රවටා ගැනීමෙන් මිදිය යුතුය. සද්ධර්මය කොතැනද? අප කොතැනද? යනුවෙන් සිතා තවදුරටත් සද්ධර්මය සොයා යා යුත්තේ එබැවින්ය. එයට මා කවර තරාතිරමක කවරෙකු වූවත් ගැටළුවක් නැත. අවශ්‍ය වන්නේ සැබෑ සිහියකින්, අවබෝධයකින් මිනිස් දිවිය ගත කිරීමේ උවමනාව පමණකි. රැවටුමෙන් තොර සැනසුමෙන් දිවි ගෙවීමේ උවමනාව පමණකි. සද්ධර්මය ගැන වඩා වටහා ගත් උදවිය මෙහි දොස් දකිත්නම් විචාරය කරත්වා!