Saturday, January 26, 2013

ක්ලාස් 'C'

මිනිස්සුන්ගෙ ‍විශිෂ්ඨත්වය තියෙන්නෙ තමන්ගෙ කුල ගෝත්‍රයට එහායින් තමන් කටයුතු කරන විදිහ අනුවයි කියල දහමෙත් කියනව.

කාළයක් අපේ පාසලේ අපේ පන්ති බෙදුවා, කොටස් හතරකට. ඉගෙන ගන්න දක්වන දක්ෂතාවය, කුසලතාවය අනුව වර්ග කරනව කියලයි කිව්වෙ. ඒත්, කොපිකරල පන්තියේ ඉස්සරහට එන අපේ අය ඉද්දී එක හරිම විහිළුවක් බව මට දැනුන. 

අපිට වැඩිය පස්සෙන් හිටපු යාළුවොත් දෙමව්පියො සතුටු කරන්න කොපි කරල හරි ඉස්සරහට යන්න හිතල තිබුන. ඒ දවස්වලත් තරඟයත් ඒ තරම්මයි. ඉතින් සමහරු කොපි කලේ දෙතුන් දෙනා කණ්ඩායම් ගත වෙලා. 

ඉතින් ඔය සැලසුම් කරුවොත්, ඇත්තටම පොත පතට දක්ෂ අයත් යන සියල්ලටම පළමු පන්තියට ටිකට් 'ඒ'. එතැනින් පස්සෙ දක්ෂයි කියන අයට 'බී' එතකොට තුන්වෙනි පන්තිය 'සී' එතනින් එහාට නොසළකන මට්ටමේ තවත් පන්තියක් තිබුනා ඒක ‍‍'ඩී'. 

කොහොම හරි කොපි කරන්නත් තර‍‍ඟයට ඉගෙන ගන්නත් උනන්දුවක් නොතිබුනු මමත් 'සී' ‍එකේ. ඇත්තෙන්ම ක්ලාස් 'සී' එකේ මං හිටියෙ ඉස්කෝලයට ඇතුළු වූ දා සිටම. ඒකත් හරි පුදුමයක්.

කාළය ගතවුනා. හය වසරෙදි ඇරඹුනු මේ බෙදීම හත අට නවය වෙන තුරුත් සංශෝධයන් එක්ක ගලාගෙන ගියා. තවත් අවුරුදු කීපයකට පස්සෙ සා‍.පෙළ විභාගයට අපි වාඩිවුනා. 

අපේ පන්තියේදී නිතරම ඉදිරියෙන් හිටපු මම සා‍.පෙළ ප්‍රතිඵල එනවිට 'ඒ' මට්ටමේ ඉදිරිපෙළ අයගෙ ප්‍රතිඵල හා සම මට්ටමෙන් හා විටෙක ඉදිරියෙනුත් සිටියා. ඒක වුනේ කොහොමද?

මෝඩ වර්ගීකරණයක් වූ ඒ වර්ගීකරනයෙන් ඇත්තටම මැන තිබුනෙ දක්ෂතා වල එක් අංශයක් පමණයි. දෙවැන්න සැබෑවටම දක්ෂයින් හංගන්න බෑ. තෙවැන්න පන්තියේදී කලබලකාර කරදර කාර කියා හැදින්වූ අය වෙනම පන්තිවලට ගොනු කිරීමෙන් ඇතිවන්නේ මොන දියුණුවක්ද?  කරදරකාරයින්ගේ පන්ති බිහිවෙනවා.. ඒ පන්තියට යන්න ගුරුවරුත් අකමැති වෙනවා.  ඇත්තෙන්ම අපේ පන්තියටත් වඩා 'ඩී' පන්තියට ඒ තත්වය උදාවී තිබුනා.

 ඒත් තර්ඩ් ක්ලාස් ‍එකේ ඉදන් විශිෂ්ඨයෙක් වෙන්න මට පුළුවන් වුනා. කොපි නොකිරීමත්, අනුන්ගේ තරඟවලට ඉගෙන ගන්න නොගිහින් මගේ උවමනාවට ඉගෙනීම මගේ පිහිටට හිටියා.

මේක ලීවේ මගේ සා‍.පෙළ ප්‍රතිඵල කියාදෙන්න නොවෙයි. තවමත් මේ ව‍ගේ මෝඩ වර්ගීකරණ පාසල්වල සිදුවනවා ද යන හැඟීම නිසා. මගේ මිත්‍රයා වූ අංගුලිමාලත් මා සමඟ ක්ලාස් 'සී' වල හිටියේ විශිෂ්ඨ විදිහට ශිෂ්‍යත්වය සමත් වෙලා අපේ පාසල ආ කෙනෙක් හැටියටයි. 

බහු විධ බුද්ධියක් ගැනත් කියන අතරෙ මේ වගේ විහිළු වැඩ නිසා අපේ අවදියේ පන්ති අතර ඇති කර තිබූ අසමානාත්ම තාවය අදත් මගේ හිතට දනවන්නේ සියුම් කණගාටුවක්. අපිට ඒ කණගාටුව දැනෙන්නේ අවංක කමත් එක්ක. එතකොට 'ඩී' පන්තියේ හිටි අයට ඒක කොච්චර දැනුනද? කවුරුත් ඒ ගැන හිතුවද? අපිත් එක්ක එකට හිටි යා‍ළුවෝ ගුරුවරුන්ගෙ මෝඩ වර්ගීකරණයෙන් එක එක බුද්ධිමය පන්ති වලට දාන එක මොන තරම් විහිළුවක්ද?  මේ වර්ගීකරණයට අහුවුනේ අපේ අවුරුද්දෙ අය විතරයි. ඊට කලින් අවුරුද්දෙත් පස්සේ අවුරුද්දෙත් මේ මෝඩකම තිබුනෙ නෑ. ඒ ගැන නම් සතුටු වෙන්න පුළුවන්.

ඒ ක්ලාස් සී වල චණ්ඩි බණ්ඩි මිත්‍රයින් අදටත් මගේ මත‍කයේ ඉන්නව. ඒ කාලෙ නරකම පන්තිය හැටියට නම්වී තිබුණෙ අපේ පන්තිය. එහි නරකම ශිෂ්‍යන් විදිහට හංවඩු ගැහූ අංගුලිමාල මගේ මිත්‍රයෙක් වුනා.

ක්ලාස් 'සී' නිසා මම සමාජය පහසුවෙන් තේරුම් ගත්තා. සීමා මායිම් එහෙ මෙහෙ වුනත් සමාජයේ ක්ලාස් 'සී' එකේ තත්වෙත් මේ ‍ටිකම නෙවෙයිද?

අද වෙනකොට මට හිතෙන්නෙ එහෙමයි.

No comments: