Thursday, January 31, 2013

අනේ කාලේ..

කාලය සහ අවකාශය දිහා සාමාන්‍යය භෞතිකවාදී විග්‍රහයට එහා හිතකින් හිතුවොත්, කාලය හා අවකාශය කියන්නේ අවස්ථාවක්. 

මිනිස්සුන්ට විවිධ අවස්ථාවන් ලැබෙනවා. ඒ අවස්ථාවන්, කාලයන් ගතවෙන ආකාරය අනුව විවිධ ප්‍රතිඵලත් දෙවනුව උදාවෙනවා.

කෙනෙක් යම් කිසි කාලයකදී ජනප්‍රිය වෙනවා, තවත් කෙනෙක් රජ වෙනවා, තවත් කෙනෙක් පොර වෙනවා, තවත් අය දුක් වෙනවා, තවත් අය ලෙඩ වෙනවා, තවත් අය වැළපෙනවා... මේ ආදී ව‍ශයෙන් තවත් බොහෝ දේ හොදට නරකට සිදු වෙනවා.

කොහොම වුනත්, ආයෙත් කාලය උදාවෙනවා. ජනප්‍රිය වුන අයගෙ ජනප්‍රිය කම අඩුවෙනවා. රජ වුන සමහරු බලු වෙනවා. පොර වුන අයට කොර වෙනවා. දුක් වුන අය සතුටු වෙද්දි ලෙඩ වුන අයට හොද වෙනවා. ඒ අතරෙ වැළෙපමින් හිටි අයට හිනා වෙන්න ඉඩ කඩ හැදෙනවා.

ජීවිතේ හරිම සරලයි. හැමදාම වෙන්නෙ එකම දේ, වෙන වෙන විදිවලින්. අතීතයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත් වෙනසක් නෑ. 

ඒත් වෙනස් විදි වලින් එන දේවල් ඇතුළෙ තියන එකම දේ හදුනා ගන්න බැරි කමින් ගොඩක් දෙනා වෙහෙස වෙලා. පීඩාවට පත්වෙලා. සමහරු මිහිපිට සදාකාලික සැප හොයනවා ඒ නිසා. ඒත් ‍එහෙම දෙයක් කාටවත් හමුවෙලා නෑ. මිහිපිට සදාකාලික සැපක් නැත්නම් සදාකාලික දුකකුත් නෑ. එහෙම දුකක් නැත්නම් වෙනත් සදාකාලික දේවල් තියෙන්න පුළුවන්ද? ‍

හැබැයි, අපි හිතන පතන විදිහ අනුව සමහර දේවල් අපි විසින් සදාකාලික කරගන්නවා. ඒත් යථාර්තයේ කිසිම දෙයක් සදාකාලික නෑ. 

ඒක ජීවිතේ රිද්මය නම්, සමබර හිතකින් හැම විට ජීවිතය දැකීම නොවෙද හොදම දේ. ඒ නිසා ඇත්ත ඇති හැටියට දකින්න. තේරුම් කරගන්න. එතකොට කවදාවත් අනේ කාලේ කියල වනේ වාසයට යන්න ඕන වෙන එකක් නැහැ...

No comments: