Wednesday, November 26, 2014

මුනිවර නිහඩතාව

‍මෝඩයන් ඉදිරියේ 

මුනිවරයෝ නිහඩවූහ

උගත්හු ඉදිරියේද 

මුනිවරයෝ නිහඩවූහ

මෝඩයෝ මුනිවරයා නිකමෙකියි කීහ

උගත්හු අව්‍යාජ නම් මුනිවරයෝ නිහඩ නොවෙතියි කීහ

මුනිවරයෝ සිනාසුනහ

නොතේ‍රුම් කමින් හිස පිරී අැත්තන්ගේ හිසේ වෙනත් යමක් දැමීමට ඉඩක් නැත

දැනුමෙන්ද හිස සපුරා පිරී ගියේ නම් ඒ හිස් තුළත් වෙනත් යමක් රදන්නේ නැත

එබැවින් නිහඩවීමයි සුදුසු පිළියම

මුනිවරයෝ උගත්කමින්වත් මෝඩකමින්වත් හිස සපුරා නොපිරුනු තැනැත්තන්ට කීහ 

එ‍විට බුද්ධිමතුන් ?? කෙනෙක් හට ප්‍රශ්නයක් විය

හැබෑ බුද්ධිමතුන් කිසිවකින් කිසිවිට කුස සේ හිස පුරවා නොගන්නා අයයි මුනිවරයෝ කීහ

ඔවුන් හැමවිට උත්සාහ ගන්නේ දැනුමට හෝ හැගීමට වහල් නොවන්නටයි 

එබැවින් ඔවුහු හැමවිට දෙසීමට වඩා ඇසීමට රුචිවෙති

ඇසීමට වඩා ධාරණයට රුචි වෙති

ධාරණයට වඩා අවබෝධයට රුචි වෙති

අව‍බෝධය ඔබේ හිසේ හෝ මනසේ ඉඩ පැහැර නොගන්නා බැවින් ඔවුන්ගේ හිසේ හැම විටම නිදහස පවතී 

...........................

හැගීමට වහල් වීම යම් වරදක්ද දැනුමට වහල් වීමද එවැනිම වරදකි. නිවරද වන්නේ අදාළ තැන දැනුමටත් අදාළ තැන හැගීමටත් තැන දීමය. කොතරම් නිවැරදි වුවත් දැනීමට වඩා හැගීම වටිනා තැනදී එය යටපත් කිරීමට යාමත් කොතරම් බලවත් වුවත් හැගීමට වඩා දැනුම වටිනා තැනදී  එය යටපත් කිරීමත් නොකළ යුතුය. මන්ද මිනිසා හැගීම මෙන්ම දැනීම අතින්ද සමබර සත්වයෙක් නොවුන හොත් තවදුරටත් මිනිසෙකු ලෙස ඇති පැවැත්ම නැති වී යන නිසාය. එබැවින් හැගීම් වැඩීම ගැන දැනුමෙනුත් දැනුම වැඩීම ගැන හැගීමෙනුත් විමසා බැලීමේදී දැනුමේ වටිනාකම නිසා හැගීම බැහැරලීමත් හැගීමේ වටිනාකම නිසා දැනුම බැහැරවීමත් වැළැක්වීමට නම් ඇතිවිය යුත්තේ එකගතාව මිස වාදයක් නොවේ. 

වඩා වටින්නේ දැනුම නොවේ.. සමස්ථ ප්‍රතිඵලයයි.

වඩා වටින්නේ හැගීම නොවේ .. සමස්ථ ප්‍රතිඵලයයි.

යමක සමස්ථ ප්‍රතිඵලය තීරණය වන්නේ කුමක් පදනම් කරගෙනද?  

ලෝකය පිළිබද විස්තර වන්නේ නියාම ධර්ම පහක අනුසාරයෙන් නම් ඒ නියාම ධර්ම පහට ඔය සමස්ථය යටය. ඒ පහම සමස්ථයට අදාළය. ඉදින් සමස්ථයේදී නොදන්නා බොහෝ සාධක, පාලනය කළ නොහැකි සාධක බොහෝ වෙද්දී යම් දැනුමක් හෝ යාන්ත්‍රනයක් මත නැතිනම් එක් නියාම ධර්මයක බැදුනු විද්‍යාවක හෝ චිත්තය හා බැදෙන හැගීමක එල්ලී පමණක් විග්‍රහ කෙරෙන අපේ කතා අතිශය ගැඹුරකින් බැලූ විට කොතරම් බොදළදද? ළාමකද?

එවැනි ළාමක කමක සිට සද්ධර්මය දෙසූ මුනිදුන්ගේ නිහඩතාව දශමයකින් හෝ ගැඹුරෙන් වටහා ගැනීමට හැකිනම් දාහක් දේ අපමණට දොඩවන මෙබදු ක‍ලක අපටම අවශ්‍ය විට නිහඩතාව සොයන්නට සිත්දේවි. සිත්වේවි. නිහඩතාව අැවසි තැන නිහඩවිය යුතු බව තේරුම් ගනීවි.

No comments: