Monday, October 15, 2012

රස්ටා හලෝව්

හිතන ක්‍රම විවිධයි. ආරෝහණව වගේම අවරෝහණවත් හිතන්න පුළුවන් විදිහක් තියනවා.

සරලව ඉන් අදහස් කළේ පුංචි සිතිවිල්ලකින් පටන් ගෙන ඒ වටා ලොකු දෙයක් ගොඩනැංවීම වගේම, ලොකු දෙයකින් පටන් ගෙන ඒක විශ්ලේෂනය කරගෙන ඒක ඇතුළෙ හැංගුණු පුංචිම සිතිවිල්ලටත් එන්න පුළුවන් කියන එක. 

ලෝකෙ ගො‍්ලෙන් පටන් ගෙන ඒකෙ තියෙන රට හොයාගන්නත් පුළුවන්. රටෙන් පටන් ගෙන ලෝක ගෝලේ දිහා බලන්නත් පුළුවන්.

කොයි පිළිවෙලට හිතුවත් ගමන්කරන්නෙ එකම පාරක් ඔස්සේ නේද? වෙනස පටන් ගන්න තැන පමණයි. හරියට ප්‍රධාන පාරේ ඉදන් නිවසටත්, නිවසේ ඉදන් පාරටත් එනවා යනවා ‍වගේ.

 

සමහර විට අපිට එකිනෙකා ගැන තේරුම් ගන්න බැරිවෙන්නත් මේ දේවල් බලපානවා. සමහරු එක්ක කටයුතු කරද්දි ඒ දේවල් දිරවගන්න අපට බැරිවෙන්නෙත් මේ වගේ සරල දේවල් තේරුම් ගන්න තියෙන බැරිකම නිසා.

අපි මුල ඉදන් කතා කරනකොට සමහරු අග ඉදන් කතා කරන්න ගන්නවා. කතා‍ව අහගෙන ඉන්න තරම් ඉවසීමක් නැති නම්, අපි හිතනවා එයාට තේරෙන්නේ නෑ කියලා. එයා හිතනවා අපිට තේරෙන්නේ නෑ කියලා. නමුත් අවසානයක් දකිනකම්ම බැලුවොත් කතා කරන්නෙ එකම දේ. වෙනස පටන් ගන්න තැන පමණයි. 

එනිසා වචන මතම යම් කිසි කාර්යයක් හෝ දෙයක් ග්‍රහණය කරන්න බැරි බවත් තේරුම් ගන්න වෙනවා. වචන, වචන ගැලපීමේ අනුපිළිවෙල විතරක් නොවෙයි, සමස්ථයේ ව්‍යුහය මොකක්ද කියන ‍එකත් යමක අන්තර්ගතය තේරුම් ගැනීමට යාමේදී වැදගත් වෙනවා.

 

සරලව ගත්විට බොහෝ වාග්මය හෝ ලිඛිත සදහන් තුළදී උදාහරණ මගින් කෙරෙන්නේත්, චිත්‍ර භාවිතයෙන් කරන්නේත් මෙවැනි දෙයක් නොවේද?

උදාහරණ තුළින් සිත තුළ මවන්නේ චිත්‍රයකි. අදාළ කතාවෙන් කියූ දෙයෙහි අන්තර්ගතයේ ව්‍යුහයට ගැලපුමක් කළ හැකි චිත්‍රයකි. එබැවින් චිත්‍රයකින් පසක් කරන්නේ ව්‍යුහාත්මක දත්තයන්ය බව කිව හැකිය. 

 

මේ දෙක එක්ව භාවිතා කරන ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයන්ගේ ඇති රසයට හේතුවත් එයම නොවේද? ඒ තුළ අපට ඇති වන්නේ ප්‍රබල සංවේදනයක් නොවේද?

භාෂා භාවිතය අතරම එයින් නූපන් හැඟුම් එකවර කැටි කොට දැක්වෙන චිත්‍රයකින් එම භාෂා අර්ථයේ ව්‍යුහය ඉදිරිපත් කෙරෙන්නේය. එය කනින් ඇසූ දේ ඇසින් දැකීමකි. නැතහොත් ඇසින්ම දුටු දේ තවදුරටත් පැහැදිලිව දැකීමකි. ඒ දර්ශන අතර ගැලපුම පැහැදිලි ග්‍රහණයයි.

ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයක් වන සිනමාවේදී නම් අප දකින, අසන දෙය හා සබැදෙන හැඟුම උපදින්නට සැකසූ පහසු පසුතලයක්ද වෙයි. එබැවින් චලනය වීම ඔස්සේ වෙනස් වන රූප රාමු එකින්‍ එක ඔස්සේ සිතිවිලි පෙළ ගැසෙන්නේය. එනම් නූපන් හැඟුම්ද ඉපදෙන්නේය. යම් විටෙක එම හැඟුම් දෙබස් වී කියැවෙන්නේය. එමඟින් එම දසුනේ  ව්‍යුහය අපට තහවුරු වන්නේය. ඒ ඔස්සේ නිර්මාණය අපට ග්‍රහණය වන්නේය. එය සමබරව සිදු කෙරුණු තැනකදී අපි හොද රසවින්දනයක් ලබන්නෙමු.

 

මේ රස වින්දනය ලැබීමට නම් අපි ‍තුළ හොද ඉවසීමක් තිබිය යුතුය. හොද ඉවසීමක් තිබීමට නම් මනස සන්සුන් විය යුතුය. සිතේ පැහැදිලි බව මනස සන්සුන් කරයි නම්,.සිත පැහැදිලිව තබා ගැනීම අපේ වගකීමකි. සිත පැහැදිලිව තිබෙන්නේ අවුලෙන් තොරවූ විටය. අවුලෙන් නිරවුල් වීමට නම් ‍‍හි‍තේ එක එක දේ තියාගෙන බැරිය. හිතේ එක එක දේ රැදෙන්නේ, කසල ගොඩක් සේ උවනමා දේත් එපා දේත් එහි තිබූ විටය. එබැවින් කසල නිකලස විය යුතුය. සිතට එක එක දේ හිතෙන නිසා එතනට නුඋවමනා දේ පැමිණිය හැකිය. ඒවා ඉවත් කර ගත යුත්තේ ඒ හිතේ අයිතිකාරයාය. කසලෙන් වැඩ ගැනීමටත් සමහරු දන්නේය. එය පසෙක තිබුනාවේ... 

 

කසලෙන් නිකසල වීම ප්‍රථම කරුණයි. එය නිරන්තර අවශ්‍යතාවක් නිසා එ‍යට ක්‍රමවේදයක් තනා ගැනීම වටිනා වැඩකි. එවිට මට මතක් වන්නේ කම්පියුටරයයි. නිතර අනවශ්‍ය දේ ඩිලීට් කොට දැමීමට එහි තැනක් ඇත. එහි ඇති දේ ප්‍රතිචක්‍රීකරණයද අවශ්‍ය නම් සිදුකල හැක. බුද්ධිමත් මිනිසුන්ගේ වැඩක්,

 

රස්ටා වැඩ කළ හැකි කොම්පියුටරයක් නම් හලෝව් යනු රිසයිකල් බින් එකය. රිසයිකල් බින් එක නැවත පරීක්ෂා කොට කලබලයට ඩිලීට් වූ යමක් රිස්ටෝ කළ හැකිය.

පරිගනකයටත් වඩා කාර්යබහුල වෙමින් තිබෙනා එදිනෙදා දින දසුනේ අප නොදැන අපෙන් ගිලිහී යන වටිනා කම් බොහෝය. ඒවා ආසන්න කාලයකදී රිස්ටෝ කර නොගත හොත් පද්ධතියම රිස්ටෝ කර ගැනීමට දිනකදී ඔබට මට සිදුවනු ඇත. නමුත් අදාළ දිනක් දක්වා පද්ධතිය රිස්ටෝ කර ගැනීමට හැ‍කිවේදැයි මට නම් සැක සහිතය.

 

එම නිසා මගේ රස්ටාවට මා නිතර කියම්, හලෝව්..

No comments: