Friday, October 19, 2012

හලෝව් රස්ටා වටහාගත් කලාව

මුදල් හම්බ කරන්නට කලාවක් තිබෙන බව සැබෑය. එය හම්බ කිරීමේ කලාවයි. එහි රසවිදින්නට දෙයක් ඇත්තේ මුදලාලිලාට පමණයි.‍ ඉන් ඔබ්බේ සාමාන්‍ය මිනිහා රස විදින්නට රුචි සැබෑ කලාවයි. (මේ ඒ ගැන හලෝව් රස්ටා කියන කතාවයි.)

මිනිසුන්‍ උදෙසා කළ යුතු කලාව මුදල් උදෙසා කරන්නට යෑමෙන් අත් වන විනාශය කෙබදුද යන්නට හොදම උදාහරණ අද මෙහේ ඇත.

මිනිසුන් අතරින් ‍කිසිවක් නොදන්නා අයෙකු සේ ඇවිද යද්දී දැනෙන්නේ ඔවුන්ගේ මොට කළ ඒ රසඥානයේ දුගදයි. කොතරම් සුවද විලවුන් ගැල්වුවද ඒ දුගද මැකිය නොහේ. වරද කාගේද?

සංවේදී භාවයන් මොට කළ මිනිසුන්ගේ හදවත් අක්‍රීය වී මොළ පමණක් ක්‍රියාවේය. ඉදිරියට යන හැම පියවරකදීම පසුපසට පියවර කීපයක් තැබිය යුත්තේ මේ පිළිබද විමසුමටයි. නැතහොත් මේ වේගයේ ඔරොත්තු නොදෙන සීමාවේදී නොසි‍තන වේගයේ කැරකී මිනිසා මත් වන්නේ සදා වල්මත් වෙමිනි. 

සාම්ප්‍රදායිකත්වය මුල් කොට ගත් බොරුවෙන් තොරව ගත්විට නූතන ගමක කලාවක් වෙත්ද? 

ඥානනය උදෙසා කලාව මෙහේ අද තහනම්ද? ඒ උදෙසා ඉඩක් වෙත්ද? 

සමහර කලාවන් තුළ පරිවර්තන, අනුවර්තන වලින්ම යැපෙන්නට උත්සාහ ගන්නා නූත‍නයේ අනාගතයට යා හැකි ස්වතන්ත්‍ර නිර්මාණයන් වෙනුවෙන් කොතරම් ඉඩක්  මෙහේ ඇතිද? 

ඒ පිළිබද උනන්දුවක් ඇත්තේ කාටද?

ඔහේ කරන්නක් හෝ පණ්ඩිත ඇකඩමික් ආඩම්බරයේ හුදු තමන්ගේ අය පිම්බීම හැර මෙහේ රස්ටාව තුළ මතුවෙන සැබෑ කලාවකට ඉඩක් වෙත්ද? 

පරණ කලා කෘති හැර නූතන මානවයින් වෙනුවෙන් බිහිවෙන සැබෑම අලුත් අර්ථ දැක්වීම් වලට මෙහේ ඇති විචාර මොනවාද?

සරලවම මෙහේ නූතනය හා මුසුවිය යුතු කලාව පිළිබද හැඟීමක් කිසිවෙකුටත් නැති. ඇත්නම් ඒ බටහිර මත ඔස්සේ විග්‍රහයන්ට යන එහේ දේ මෙහේ කරන්නට උත්සාහ දරන්නන් පමණි. මෙහේ අලුත් යමක් නැත්නම් එහිත් වරදක් නැත. 

අපේ රට යනුද අපිට දැනෙන හුළගේ සිට ‍කොයි රටකත් මෙන් අනන්‍ය ලක්ෂන ඇත්තකි. ඒ ලක්ෂණයන් හා බැදෙමින් අපේ නූතන මිනිසාගේ ඥානනය උදෙසා කලාව යනු වෙනත්ම විධික්‍රම තුළ මතුවෙන්නක් විය යුතුය. එය හුදු අතීතය හෝ සම්ප්‍රදාය මතම පදනම් වෙන්නක් නොවේ. අතිශය සියුම් භාව විග්‍රහයන් තුළ නූතන අපේ මිනිසාගේ මනස ස්පර්ශ කරන්නක් විය යුතුය.  ඒ මනස හදුනාගෙන ඇත්තේ කව්ද? එයට මගක් වෙත්ද?

අද මෙහේ රසවින්දනය යනු බොරුවකි. රස විදින්නේ  තමන් නොව තමන්ගේ නොදන්නා කම හෝ නොතේරුම් කමයි. මෙයට පැහැදිලි වචනය මුළාවයි. රස විදීමක් නොව මුළාවීම රසය ලෙස ගන්නෝ බොහෝය. නිර්මාණ කරන්නෝ බොහොමයක් සේම රස විදින්නන් බොහොමයක්ද මුළාවේම තවත් විදීමට මං සොයති. එය සැබවින්ම විදීමක් නොව විදවීමට මං තනා ගැනීමක් බව ‍ඔවුහු නොදනිති. මුළාවේ ස්වභාවය එබදුය.

සරලවම ගත් විට නිර්මාණයක් යනු පූර්ණ සත්‍යක් නොවේ. නමුත් එතුළ සත්‍ය අන්තර්ගත විය යුතුය. ඒ සත්‍යයේ නිරූපණයන් උදෙසා නිර්මාණකරුවා විචක්ෂන විය යුතුය. එනම් තියුණු මෙන්ම සංවේදී විය යුතුය. සංවේදී විය යුත්තේද මුදලට නොවේ. සරලම වුව නිර්මාණයේ ගුණය දැකිය හැකි වන්නේ එය මිනිසුන් උදෙසා නිර්මාණය කරන විටය. මුදල් උදෙසා නිර්මාණ කරන විට මතුවන්නේ මුළා‍වන් බලගැන්වීමේ නිර්මාණ කරුවෙකි.

කලාව යනු මුළාවට මගක් නොවේ. කලා රසය තුළ ගැලෙමින්ම කෙනෙකු මුළාවට පත්වීම වෙනමම දෙයකි. එහි වරද පුද්ගලයාගේ මිස නිර්මාණයේ නොවේ. 

නමුත් මුදල මූලික කොට අඥ්+ඥානනය වෙත නිර්මාණ බිහි කිරීමේ ප්‍රතිඵලය සුළු පටු නැත. අප සිනාසී සැහැල්ලුවෙන් විදිනා ඒ මුළාවේ වන්දිය අනාගත පරපුර වෙත ගෙවීමට සිදුවන හෙට දිනයේ දී එහි බරපතළ කම නම් කාටත් දැනෙනු ඇත.

කලාවෙන් හම්බ කළ යුතුය. නිර්මාණකරුවාගේ ගිණුම තරවන විට රසවිදින්නාගේ ගිණුම හිස් වෙයි නම් එය සැබෑ ප්‍රශ්නයකි. නිර්මාණකරුවාගේ ගිණුම තරවන විට රසවිදින්නාගේ ගිණුමත් තර වෙනවානම් එහි ප්‍රශ්නයක් නැත. නමුත් ඒ ගිණුම් මුදල් අවලංගු කාසි නම්.. කිසිවෙකුටත් එයින් ඵල නොවනු ඇත.

No comments: