Friday, October 5, 2012

බය

අපි බය නෑ,  කාටවත්..

මෙහෙම කියන අය මෙහේ ඕන තරම්. හැබැයි ධනය, බලය, වර දාන ඉස්සරහ මෙයාල අහන්නෙ "අපි ඇත්තටම එහෙම කිව්වද?" කියල.

බය නොවෙයි මේ අපේ භක්තියයි කියල, දෙමාපියන්ටවත් ජීවිතේට නොවැදපු සමහර අය දේසපාලක‍යින් ඉස්සරහ ප්‍රසිද්ධියේ වැද වැටෙනවා. මේ ලගදිත් මේ වගේ බූරු නමස්කාරයක් ටීවී ‍එකේ දැක්කම මට හිතුනේ මෙහේ මිනිස්සු සම හරක් තවමත් හාන්ට විය ගහේ බදින්න පුළුවන් නේද කියල. ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉන්ධන වියදම් කරන්නෙ නැතිව පොඩි ලියද්දක් හාගන්න. ඒ අදාල දේසපාලකයන් කිව්වොත් කොහොමත් ඒ උදවිය ඕන කුඹුරක් හාන්න විය ගහට බලෙන්ම බැදෙනව. ඒක සහතිකයි.

 දහමෙත් කියල තියෙන විදිහට බය කියන්නෙ මිනිස්සු අගතියට දක්කන කාරණා වලින් එකක්. ඇත්තටම මිනිස්සු බය ඇයි?

ලොකු සංවේදී කමක් තියෙන වයි කියන මිනිස්සු මෙහේ ඉන්න වයි කියන නිසාද, ඔවුන්ගේ හිත හොද කමද මේ අපි බය හැටියට දකින්නේ, එතකොට ඒකමද නිවට කම හැටියට පෙනෙන්නේ.

නෑ, ඇත්තටම බයත්, නිවට කමත් මෙහේ පිරිලා.. දවසෙන් දවස මිනිස්සු ඒකෙන් අගතියට යනවා. නැත්ත ඇත්ත හැටියටත් , ඇත්ත නැත්ත හැටියටත් ඒ උදවියට පේන්න ගන්නෙ මේ අගතියට ඇතුළු වෙන සීමාවෙ. දහමෙ කියවෙන හැටියටම එතකොට මිනිස්සුන්ට කිසිම සරු දියුණුවක් ලබන්න බැහැ. 

සරු දියුණුව කියන්නෙ මිනිහෙක් ශක්තිමත් වෙමින් ඉදිරියට යන එක. නිසරු විදිහෙ දියුණුව කියන්නෙ මිනිහ ඉදිරියට යන්ඩ යන්ඩ බොඩිගාඩ්ලා වැඩි කරගන්ඩ ඕන විදිහෙ දියුණුවක්. බොහෝ විට මෙහේ දේසපාලකයින් බොහෝ දෙනාට මොනදේ නැතත් ගාඩ් හතරවටේ දාගෙන යන්‍න වෙනවනම් පුද්ගලිකව හරි මොළේ තියෙන කෙනෙකුට ඒ උදවියගෙ දියුණුව මොන විදිහෙ එකක්ද කියල තේරුම් ගන්න පුළුවන්. හැබැයි අතරින් පතර වුනත් මෙහේ වෙනස් විදිහෙ දේසපාලකයොත් හොයා ගන්න පුළුවන් කමක් නැහැයි කියන්න මට උවමනාවක් නැහැ.

හැ‍මදේකදිම මෙහේ තවමත් දේසපාලකයො ගැන කතා නොකර මුකුත් කතා ඵලක් නොවන්නේ , ගෙබි නමස්කාරය, බූරු නමස් කාරය කියන එක මෙහේ පරම්පරාවෙන් උරුම කරල තියෙන තත්වයක් ඇති නිසා. දෙමාපියෝ ඒ වාරිත්‍ර අනුගමනය කළා නම් හොද චාරිත්‍ර වලට වඩා ජීවිතය ජය ගන්න මේ වාරිත්‍ර අනුගමනය කරන්‍න දරුවොත් පැකිළෙන්නෙ නැහැ පහුවෙලා හරි. රස්ටාගේ රස්තියාදු තුළ දැක ඇති සත්‍ය නම් එයයි. දේශපාලකයන් ගැන කියද්දී කී‍ සේම මෙයින් වෙනස්වන දූ දරුවන්ද මෙහේ නොසිටිනවා නොවේ. නමුත් සම්ප්රදාය අරකයි.

ඉදින් , මේ බය බලියක් ඇර හෝ නැති කරගන්ට පුළුවන් නම්, මෙහේ බොහෝ දියුණුවක් දකින්නට බැරි කමක් නම් නැත. නිකම් දියුණුවක් නොව වේගවත් දියුණුවකි එය. හැබැයි අනෙකාගේ බය දැක දැක තමනුත් ඒ බය රෝගයක් සේ බෝ වන්නට ඉඩ නොදී, බයට පයින් ගසා එක එකා ලෙස නැගිටියහොත් පමණි එය කළ හැක්කේ.

බොහෝ දෙනා එදිනෙදා දිවියේ රස්තියාදුව ශුද්ධ නොකරන්නේත් බය නිසාමය. මේ ගැන ගැඹුරට ගියහොත් සැබවින්ම මේක පුස් බියක් බව ඔබටද දැනෙනු ඇත. 

අවිද්‍යාව, හේතුව එයයි. 

දහමේ කියවෙන පරිදිම හේතුවක් නැතිවම බියවන්නේ දකින දේ විග්‍රහ නොකර ගැනීමෙනි. රස්තියාදුව ශුද්ධ නොකරගත්තා යනු ද එයයි.

අහස කඩා වැටෙනවා යැයි කියා අර කව්රුද සතෙක් දුවන්නට ගත් විට කැලේ හැම සතාම ඒ පස්සේ වැටුනේත් ඔය බය නිසාමය. ඇත්තටම තමන් බිය වන කාරණා ගැන නුවණින් විමසිය යුතුය.

අද කාලේ හැම දේකටම බේත් තිබෙනවා යැයි සාමාන්‍ය මිනිහා විශ්වාස කරන නිසා ලෙඩ හදා ගැනීම ගැන ඔහුට බියක් නැත. මොකද රජයේ රෝහල හැම විටම තමන් සදහා විවෘත යැයි මිනිහා සිතන නිසාය.  එවිට පරම ලාබය ආරෝග්‍ය යැයි කියා රෝග නොහදා ගෙන ඉන්ට හිතන හෝ ක්රියා කරන අය අඩුවේ.

එපරිද්දෙන්ම බිය ට හොද සංග්‍රහයක් සමාජයෙන් ලැබෙනවානම් බිය වීම ප්‍රශ්නයක් නොවේ. එමට බෝතල්ද, සල්ලිද, උසස්වීම්ද ඇතුළු නොයෙකුත් වරදාන බිය සදහා සංග්‍රහයක් වනවා නම් බිය යනු අගතිගාමී දෙයක් ලෙස සිතා නිර්භයව ක්රියා කරන්ට සිතන්නෝ අඩුවේ. සිදුවී ඇත්තේ එය නොවේද? 

හැබැයි නැත්ත ඇත්ත හැටියට ගත්විට මතුවන බරපතළ ප්‍රශ්නය පසුවටය.  

එනම් මේ බිය නිසා වගකීම් යුතුකම් හරි හැටි ඉටු නොවුනු සමාජයේ නිර්මාණය වන දහසකුත් ප්‍රශ්නයි. 

ඒවාට මුහුණ දිය යුත්තේ පොලිසිය නොවේ. අපිමයි. සමාජයේ අපිමයි. ඉදින් මෙනයින් බැලූ කල විවිධ සමාජ ප්‍රශ්න උදෙසා කොතනදී කාට කොහොම බැන්නත් ඒ ප්‍රශ්න නිර්මාණයේ අප කොතරම් දුරට දායක වනවාද යන්න සිතා බැලීම වටී. බිය නොවී නිර්භයව මිනිසෙක් ක්‍රියා කරන්නට සිතන්නේ එතැනදීය. කිසිදෙයකට බිය නැති මිනිස්සු මෙලොවේ සිටියත් නැතත් බිය නිසා අගතියට යන මිනිස්සුන් ලෙස අප නම් කිසිවිටකත් නම් නොවිය යුතුය. ක්‍රියා නොකළ යුතුය. රස්ටා හැමවිටම පතන්නේ එයයි.

ඔබේ රස්තියාදුවේ මළ ශුද්ධ වේවා..

එසේම මාගේත්.

නැවතත්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,

 

වේවා ජයෙන් ජය..

No comments: