Wednesday, October 31, 2012

වෙනස(පරංගියා කෝට්ටේ ගිය පාර දිගේ)

- සරල ප්‍රශ්නයක් තියෙනවා, අහන්නද?   ශාරීරික පිළිකා සොයාගන්න පුළුවන්, මානසික පිළිකා සොයාගන්න පුළුවන්ද? 

ඔයාට පිස්සුද අනේ, මොන සරල ප්‍රශ්නයක්ද? ඕක. හරිම බරපතළ ප්‍රශ්නයක් නේ. අපිට උගන්නලත් නෑ. විෂය නිර්දේශ වල තිබුනෙත් නෑ. ඒක නිසා කියන්න දන්නෙ නෑ‍. බටහිරින් ශාස්ත්‍රීය පර්යේෂණ කරලා ඒක හොයාගෙන, පිළියම් කියා දුන්නොත් අපි දන්නවා. ඒ ගොල්ලො කිව්ව දාට අපි ඒ ගැන කතා කරමු.

- හැබැයි, සමහර විට දහමේ මේ ගැන සදහන් වෙලා ඇතිනේද?

අපේ දහම පතුරු ගහල හොයන්න බලන්න අපිට උවමනාවක් නෑ අනේ. මොකද දහම අපේනේ. ඒක හරි වටිනවා. ඒක හින්ද ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා, වෙන මොනවද? ඒක අපිට ගෞරවයක්නේ. ඒ මදෑ.

අපිට හැම දේම බටහිර විද්‍යාත්මක චින්තනයෙන්ම විග්‍රහ වුනහම ඒක පිළිගන්න පුළුවන්. එතකම් බෑනේ, ඒක හරි නෑ වගේ නේද. අපිට දැනෙන හැගෙන දේට වඩා සුදු මහත්තුරු අපිට තාමත් විශ්වාසයි. ඒ ගොල්ලො අන්තර් ජාලෙටවත් තොරතුරු මුදා හැරියමයි  ඒක අපේ ඔලුවට වදින්නෙ. ආර්ථ්කයත් එක්ක එකහෙලාම බද්ද වෙන්නෙ නැත්නම් මොන දැනුම වුනත් අපිට ඵලක් නෑ. විද්‍යාත්මක විග්‍රහය මාකට් එකට සම්බන්ධයි. දහම මාකට් එකට කෙළින්ම ගැලපෙන්නෙ නෑ. ඒක නිසා අපි විද්‍යාත්මක ක්‍රමයට කැමතියි. ලෝක විනාශයක් ගැන උනත් මාකට් වෙන තත්වෙ කතා කරන්න අපි කැමති ඒකයි. වෙනස් වෙන ලෝකයක් ගැන කියන දහමෙන් ඒ ටික තේරුම් ගන්න තරමට අපි සරල බුද්ධිමතුන් නොවේ. මාන්නාධික, පණ්ඩිතවාදී උගතුන් සහ උජාරු කාරයෝ. ඒ නිසා ඒකට ගැඹුරු විග්‍රහයක් ඕනෑ. හැබැයි කොච්චර ගැඹුරට ගියත් ආපහු කතාව නවතින්නෙ සරල තැනක. බටහිරට නම් මේක යම් පමණකට සාධාරණයි. ඔවුන්ගේ දහමත් විද්‍යාවත් පැති දෙකක ලෙස සරලව විග්‍රහ වෙන නිසා. අනික ඔවුන්ගේ විද්‍යාව එහි ක්‍රියාකාරකම් තුළ ප්‍රබලයි. නමුත් විද්‍යාවටත් එහා ගිය දැනුම් පද්ධතියක් ඇති දහමක් පවතින අපේ රටේ, ඒ දහම අදහනවා යැයි කියන බහුතරයා විද්‍යාවට වඩා ඒ දහම විනිවිද දකින්නට සමත් නොවන්නේ ඇයි? වෙනස කියා ඔවුන් හිතන විද්‍යාත්මක විග්‍රහය අපට පස්සෙන් තිබෙන දෙයක් බව ඔවුන්ට නොපෙනෙන්නේ ඇයි?

විද්‍යාත්මක විග්‍රහයේ දැනුම, සතුට හොදය. හැබැයි අප අපේ අතීත මුත්තාගෙන් පළමුව උගත යුතුය. සරලත්වය ආදර්ශයට ගත යුතුය. එවිට අපේ දහමේ විද්‍යා ඥානයේ ගැඹුර දැක ගැනීමට පෙර මගක් සැකසෙනු ඇත. කුමන හෝ ගැජට්ටුවකට විජට්ටුවකට විද්‍යාත්මක විග්‍රහයන් දීමේදී, අපේ සුවය සතුට වෙනුවෙන් ඒවා භාවිතයේදී,  මේ මිහිතලයට හෝ ජීවි අංශුවකට හානියක් කරන්නට ඔබට අයිතියක් නැත. මටද අයිතියක් නැත.

ඇත්තේ භාවිතාවට අයිතියක් පමණි. සතුට ලැබිය යුත්තේ නිසි මාර්ගයේ වන්නේ එබැවිනි. එවිට සතුටත්, භාවිතාවත්, සාධාරණය. යුත්ති සහගතය. අන්තගාමී නොවිය යුතු මනුසතාගේ දහම නම් එයයි.  එය නිසි නොවන හැම තැනදීම ඔබ සමස්ථ සමාජය වෙත නව ප්‍රශ්න නිර්මාණයට කිනම් ආකාරයෙන් හෝ දායක වන්නෙකි.  තම පැවත්ම උදෙසා සංස්කෘතික පරි‍සරයේදී උචිතයෙක් වනවා යනු සාධාරණ සටනකින් විය යුතුය. ස්වභාවික පරිසරයේදී සටන සාමාන්‍යයෙන් අසාධාරණ ලෙස සැකසී ඇති වුවත් එබදු අසාධාරණ අයුක්ති සහගත සටනකින් ජය ගන්නවා යනු මිනිසෙකුට නම් තරම් නොවේ. එබන්දන් තමන් විසින් තමන්ට සුදුසු නාමය සොයා ගත යුතුය. (මේ කියන්නේ සටන සාධාරණ, යුක්ති සහගත එකක් කර ගත යුතු බවයි.)

මිනිසා මෙය තමා ප්‍රධාන කොට ඇති තමන්ගේ ලෝකයක් යැයි සිතනවා නම් තමා සාධාරණ හා අන්‍යන් වෙනුවෙන් යුක්ති යුක්ත මිනිහෙක් විය යුතුය. හොද පාරි‍‍භෝගිකයෙක් වනවා පමණක් නොව හොද මිනිසෙක් වීම යනු නූතනයේ හොදම වෙනසයි.

 

 නමුත්, ‍‍මේ කියනා දේ ‍බොහෝ කොට බොහෝ දනාට නොහැගෙන්නේ ඇයි? එකම තැනකට පාරවල් කීපයක් තැනිය යුත‍්තේ එනිසාය. 

 

වචන වලින් කතා කිරීම මේ තාක්ෂණයත් සමග වෙනස් වනවා. ඒ කිව්වේ කියන, ලියන එකේ සාමාන්‍ය ස්වරූපය ගැන. එතුල සන්නිවේදනයේදී වෙන සියුම් වෙනස් කම කාලයාගේ ඇවෑමෙන් දැ‍වැන්ත වෙනවා. එතකොට අපිට දෙවිදිහක් දැනෙන්න ගන්නවා. 

වචන ගැන සංසන්දනයක් කරන්න වෙන්නෙ එතනදි. මොකද සංසන්දනයකට අඩුම තරමේ ද්විත්වයක් තියෙන්‍න ඕන නිසා. එක චිත්‍රයක් විතරක් නම් තියෙන්නෙ. ඒකෙ ලස්සන ගැන මිම්මක් නෑ. නමුත් දෙකක් තියනවනම් එකකට සාපේක්ෂව අනික ගැන කියන්න පුළුවන්. 

අද අපි භාෂාවේ ව්‍යාකරණ රකින්නෙ නැත්තෙ ඇයි, විභාග ඇරුනාම. අක්ෂර වින්‍යාසය අපි ගණනකට ගන්නෙ නැත්තෙ ඇයි, විභාග හැරුනාම. තාක්ෂනික මෙවලම් තුළදි නම් යම් අපහසුතා වෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන ම දේ ඒක නොවෙයි. අපේ යුගයෙ ඒක ලොකු අවශ්‍යතාවයක් නොවන හින්දයි. කොටින්ම කියනවානම් හර බර විදිහට ලියන කියන එක ගොඩක් දෙනාට තේරෙන්නෙ නැහැ. ඒක කියවීම වෙහෙසකර බව සමහරු කියනවා. ඒකට හේතු ගණනාවක් තියෙන්නත් පුළුවන්. නිරෝගී මිනිස්සු රෝගී වුනේ ආහාර පාන, පරිසරය එන්න එන්නම විෂ වෙන නිසා වගේම නරක පුරුදු නිසා. වචන රෝගී වුනේ කොහොමද කියල සිතා බලන්න නම් දැන් ප්‍රමාදයි.

වචන මැරිලා ඉවරයි. මැරිලා යයි කීවේ ඒවාට පණ තිබූ නිසා. මැරුණු වචන වලින් දැනෙන්නේ මිය ගිය ජීවියෙකුගේ නිසල දේහයක ඇති හිස් බවක්. ඒත් අපිට කතා කරන්නට, අදහස් හුවමාරු කරන්නට වචන ඕන නිසා අපි තවමත් කතා කරනවා. කොතරම් කතා කරත් මැරුණු වචන වලට පණ දෙන්න දැන් බැහැ. ඒ අතර පෙති වලින් දුවන මිනිසුන් අ‍තරේ නිරෝගී මිනිස්සුත් ඉන්නා පරිද්දෙන්, භාෂාව නොමැරුනු තැන් නැතුවාත් නොවෙයි. නමුත් ඒ භාෂාවෙන් ගනුදෙනු කළ හැක්කේ එබදු පිරිසකටම පමණයි. අනෙක් අයට එම භාෂාව නොතේරෙනවා නම්? මේ කියන්නෙ සමාජයේ සාමාන්‍ය මිනිස්සු ගැන, අපි‍ වගේ. අපි ජීවත් වෙන්නෙ සාමාන්‍ය ‍‍පරිසරයෙ. සාමාන්‍ය සංස්කෘතිය තුළ. (මේ කියන්නෙ සාමාන්‍ය මිනිහාගේ, සාමාන්‍ය භාෂා භාවිත ඥානය ගැන)

ඉතිං මේ හැම දෙයක්ම තවත් එක් විෂයක් පමණක් වෙද්දී මිනිස්සු ඒ සබ්ජෙක්ට් ගැන කතා කරනවා. ආපහු ලෝකෙ ආපස්සට යනවාද කියා හිතෙන්නත් දේවල් තියෙනවා. ගෝත්‍රික යුගයට වඩා වෙනස් විදිහට කනවා, බොනවා, ජොලි කරනවා කියන සංකල්ප ආපහු කරළියට ඇවිත්. මෙහේ අපි කන්ට, බොන්ට, ජොලි කරන්ට තවත් අලුත් ක්‍රමවේද ගවේෂණේ කරනවා. වෙනසක් හොයනවා. අපි මෙහෙයවනවාට වඩා අපිව මෙහෙයවෙනවා නොදැනම.

 වෙනසක් කියන්නේ මොකක්ද?

කකුල් දෙකෙන් ඇවිදිනවා වෙනුවට අත් දෙකෙන් ඇවිදින එක වෙනසක්. ඒත් ඒක සැමවිට සැමතැන හා එදිනෙදා ප්‍රායෝගික නැහැ. නමුත් ප්‍රජාව වඩාත් ඇදී යන්නේ එහෙම දේකට. සංකල්ප මිසක් එහි හරය ගැන බිංදු මාත්‍රයක් වැටහීමක් නෑ. ප්‍රධානම කරුණ තේරෙන්නෙ නැති එක. ඒ කියන්නෙ දැනෙන්නෙත් නෑ. තමන්ට තේරෙන්නෙ නෑ කියල තමන්ට දැනෙන්නෙ නැති කොට ලැජ්ජාව, බය නොවේ කිසිම සීමා මායිමක් නෑ. ‍එහෙම මායිම් ගැන දැනෙන්නෙත් නෑ. එච්චරකට ශද්දකෝෂ වලින් දුන්නු වචන අර්ථ වල අපේ මොළ හිරවෙලා. යාන්ත්‍රීකරණය වෙලා. දැනුමෙන්ම ලෝක‍ය විග්‍රහ කරගන්නට ගොසින් සාමාන්‍ය සංවේදී කම, සරල උපක්‍රම දැනෙන්නේ නැතිව ගොහින්. වෝල්ට් තිස්තුන්දාහෙ කරන්ට් එක වැදුන මිනිහට බැටරි කරන්ට් එකක් දැනෙන්න තරම් දෙයක් ඉතුරුවෙයිද? දැන් හොද පදමට කරන්ට් එක වැදිලා ඉවරයි. ඒක පේනවා, දැනෙනවා. දැන් මේ කරන්ට් එක වැදුන මිනිහට වෙනසක් දැනෙන්න කියලා වතුර ගහනවා. කලන්තෙ හැදුනු මිනිහට වතුර ගැහුවට කරන්ට් වැදුනු මිනිහට වතුර ගැහුවොත් මොකද වෙන්නේ? අද සමාජයේ හරයක් නැති වෙනස ඒකයි.

මේව ගැන සැබෑ මිනිස්සු හැටියට දැනෙන පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන් නිහඩවම යටපත්වෙලා. ඒකත් කලියුගයේ හැටි. දොස් කීමක් ‍කියා දෙයක් නැහැ. නමුත් උත්සාහය කියා දෙයක් අවැසියි වෙනසකට.

හැබැයි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. නිහඩවෙලා ඉන්න මේ ඇත්තම මනුස්සයෝ කවද හරි දවසක ඇත්තටම අවදිවෙනවා. එදාට මේ නිහඩකමේ පාලුව නැතිව යයි. මනුස්සයින්ගේ හදවතේ ඇතුළෙන් ඇත්තටම ඇහෙන කුණු හරුප නොවූ අදහස් එතකොට දකින්න පුලුවන් වෙයි. ටික කාලයකට හරි ආපහු මාකට් නැති මනුස්ස කමක් යන්තම් හරි දැනේවි.

එතකොට වෙනස වචනවලින් තොරව දැනෙන්න, ආපහු හිතන්න ඉඩක් ඉතුරුවෙයි.  

No comments: