අපේ මුත්තා මා දන්නා ආදිතමයාය. ඔහු හොද පුද්ගලයෙක් යැයි මා කියන්නේ ඔහු අප වෙනුවෙන් වැඩක් කළ නිසාය.
"මොනවද මුත්තේ මොකද කරන්නේ, මොකටද ඔබ ඔය බිම හාරන්නේ" මා මුත්තාගෙන් ඇසුවේ නොදන්නා කමටය.
මුත්තා මට කීවේ, අප වෙනුවෙන් අඹ ඇටයක් හිටවන්නට බිම හාරන බවය. එදා මෙන්ම අදටත් මට මුත්තාගේ ඒ ළෙංගතු කමේ ගැඹුර සිතාගත හැකිය.
ඒ ටික කීමෙන් පසු මට ප්‍රශ්න දෙකක් අසන්නට අවැසිය. තුන්වෙනි ප්‍රශ්නයක් ඇතත් එයට කන් දෙන්නට කෙනෙකු නොමැති බව දන්නා බැවින් එය අසා ඵලක් නැත. මෙසේ ප්‍රශ්න නැගීමට මට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ යැයි පොඩි අවදියේ සිට වැඩිහිටියන්ට බෙහෙවින් ගරුකළ අයෙකු වූ මම සිතන්නෙමි.
මේ ප්‍රශ්න මම මගේ ගෙදර උදවියගෙන් පළමුව අසා ඇත්තෙමි. දැන් මට මෙය අසන්නට ඕනෑ අපේ සමාජයේ පොදු වියත් වැඩිහිටියාගෙනි.
1. මුත්තාගෙන් පසු පරම්පරාවේ අපේ ආච්චී වෙතය, පළමු පැනය - ආදරණීය ආච්චියේ මුත්තා හිටවූ අඹ ඇටය වෙනුවෙන් ඔබ කළේ කුමක්ද?
2. ආච්චීගෙන් පසු පරම්පරාවේ අපේ තාත්තා වෙතය, දෙවන පැනය - ඔබ ඔබේ සීයා හිටවූ අඹ ඇටය වෙනුවෙන් කළේ කුමක්ද?
තෙවන ප්‍රශ්නය අපේ පොදු අයියාගෙනි, නමුත් මිනිහාට ප්‍රශ්නේ වත් තේරෙනවාද සැක සහිතය. එබැවින් අසන්නේ නැත.
ඉතිහාසයේ අප පැරැන්නන්ගේ සරල ජීවන රටාවට පින්සිදු වන්නට තවමත් අපි ඒ අඹ ගහෙන් ඵල ලබන්නෙමු. කාළයක් ගහේ ඵල භුක්ති වින්දෙමු. ආච්චීගේ පරම්පරාව මා දන්නා පරිදි මේ ඵල කුළුදුලේම භුක්ති විදි අයයි. තාත්තලා ගහ හිටවූ මිනිසා ගැන නොදැනම හෝ දැන හෝ එහි ඵල භුක්ති විද තිබේ. අපේ අයියාද වයසට යමින් තිබූ ගහට ගොඩවී හෝ එක දෙක හෝ ඵල භුක්ති විද තිබේ. දැන් ගහ මැරිලාය. මුත්තාගෙන් පසු කව්රුත් අඹ කෑවා මිස අනාගත පරපුරට එක ගසක් වවන්නට හිතුවේ නැත. අනෙකුත් වැඩ එච්චරටම වැඩිවූ නිසා ඒ යුතුකම අමතක වී ගියාසේය. අනාගත පරපුරට ගස් නගින්නටත්, ගෙඩි කඩන්නටත් කියා දුන්නා මිසක බොහෝ දෙනා ගස් හිටවීමක් ගැන හිතුවේම නැත. එනිසාම අද බොහෝ දනා අඹ ගස වන්නේ අඹ පැළයයැයි නොදන්නෝය. අඹ පැළය වන්නේ අඹ ඇටයයැයි නොදන්නෝය.
එනිසාම තියරියෙන් පිට මුත්තාගේ ගස් වැවීම යටපත් වී ගියේය.
මුත්තා ඇන්දේ අමුඩයය. ඔහු නූගත් සාමාන්‍ය කෙනෙකි. ප්‍රශ්නය ගොඩක්ම තිබුනේ එතන විය හැකිය.
ඉස්කෝලෙන් - පන්තියට - ගෙදරට - ජීවිතයේ මේවා දැනෙන්නේම නැත. ඊට ඉඩක් නැත. ඇත්තේ නම් ඒ ගැන කතා විතරය. දෙසුම් විතරය. එපමණකටම වේලාව නැත. අපි එවැනි දිවියක උරුම ලද්දේ අපේ ක්‍රම වේද වලට පින් සිදු වන්නටය.
මුත්තාගේ වගාව බලමින් අපි වීදි සරන්නෙමු. ඉදිරි පැවැත්මක් ගැන මුත්තා සේ සිතන්නට අපට උවමනා නැත. එසේ සිතෙන්නේද නැත්තේ අප සිතන්නට පුරුදු කොට ඇති ක්‍රමයේ පිහිටෙන්ය. මුත්තා තරමට අපි තුළ නිස්සරණ අධ්‍යාසයක් නැත. එහෙව් අධ්‍යාසයක් ගැන දැන හෝ නොදැන මුත්තා කළ දේ දැන උගත් අපට කරන්නට වේලාවක් නැත. අපි බිසී වෙමු.
දැනෙන හැගෙන සරල චින්තනයේ තිබූ වටිනාකම දැන් හැගෙන්නේම, දැනෙන්නේම නැත. මුත්තා අමුඩය ගසා ගත් බටහිරයෙකු වූවා නම් හැබෑටම අපි අද අමුඩ ගසා අනාගත පරපුරටත් අමුඩ ගස්සවා ඔය තියරියද ඒ වටිනාකමෙන්ම පවත්වා ගන්න බව නම් සහතිකය.
මන්ද අපිට අපි ෂුවර් නැත. අපි කිව්වේ අපේ කියා අපි හිතන දේය. එය කතාවට පූචානමට පමණක්මය. අපිට අපේ දෙයක් නැත. අපි කතා කරන‍්නේ ඉන්දියාවේ ජාතික හැගීම ගැනය. මා දන්නා තරමින් කෘෂිකර්මාන්තය කීවාට හරියට ඒකවත්, ඉන් ඔබ්බේ ඉදිකටුවක් වත් නූතනයේදී අප හදනවාද? මුත්තාගේ අඹ ඇටයේ පිහිටෙන් එයට පින්දෙමින් හිදින්නේ නූතන අප්‍රාණිකත්වය වසා ගැනීමටද? කොයි පාලකයාත් එකය. උන්ට ශක්තියක් නැත්තේ ආපහු අමුඩ ගැසීමටය. හැබැයි ඒ අමුඩය. හෙලුවට උඩින් ගහන්ට ශක්තිය තිබීම අවැසිය. එනම් හැබෑ කැපවීමකට ප්‍රවේශයයි. මේ කලියුගයේ එහෙම දෙයක් කරන්නට හයියක් ඇතැයි බලාපොරොත්තු වීම හිතලුවක්ම සේ හැගෙන්නේ දකින පෙනෙන දේ අනුවය. ගැජට්ටු, විජට්ටු ලෝකේ කාටත් ඕනෑවට හරි එපාවට හරි ඕනෑ ඒවාමය. ඒවාද ආනයනය කෙරෙන දේය. අපි හොද පාරිභෝගිකයන්ය. වෙන්නේ මොනවාදැයි දන්නේ නැති සේම, මොනවා උනත් මට නොවේ නම් කම් නැතිද? ඉදින් වෙන මොනවාද? ඇතිදේ කකා බලා ඉන්නවා මිස..
වගකියන්නේ කව්ද?
ආච්චීට සහ තාත්තාට වුනු වැරැද්ද නිවරද කර ගැනීම සදහා දැන් හෝ ඇත්ත කතාවට අවකාශ ඇත. හිතට එන දේ කීවාට තවම මා පොඩි එකෙක්ය. එනිසා නුඹලා කොන්ද කෙළින් කොට ගෙන දැන්වත් වරද නිවරද උදෙසා කතා කළ යුතුය.
මට කිව හැක්කේ නම් මෙපමණයි,
කරව් හැම දෙනාටම හැකි හැකි දෙයක් මේ වෙනුවෙන් නිවැරදිවත්, සාධාරණවත්.. එපමණයි සැනහීමට හැකි එකම දේ මතුවට තෙපිට..
No comments:
Post a Comment