Tuesday, October 2, 2012

පොළේ..

රස්තියාදු වීමට අපූරු තැනකි, පොළ. 

සතියේ කවර දිනයක වේවා, ලාබෙට බඩු ගන්නට මෙහේ අපි යන තැනයි පොළ. ලාබෙට ඇති නිසාම ගන්නට කියා හිතා ගෙන අමතක වේයැයි හිතා කොලයක ලියා ගෙන ගිය වට්ටෝරුව පසෙක දමා, ලාබෙට දුන්‍නු ඒ දේවල් ගෙදර ගෙන එනවාද ‍ඔබ? හරියට ඩොක්ට ‍කෙනෙක් වෙනවා කියා පොඩි‍ එකෙක් පටන් ගත්තු ජීවිත ගමන හෙට වෙ‍නදේ අපි නොදන්නා නිසාම කොන්ඩොක්ට කෙනෙක් ගෙන් අවසන් වීම වැනි දෙයක් නොවේද එය?

ඩොක්ටත්, කොන්ඩොක්ටත් සමාජයකට එ‍කසේ වැදගත්ය. නමුත් ඩොක්ට කෙනෙක් වෙන්නට සිතා සිටි පොඩි එකා ලොකු වෙනකොට කොන්ඩොක්ට දක්වා තල්ලු වූයේ ඇයිද යන්න සිතා බැලීමට වටී.

ලාබෙට දෙන දේවල් ගන්නට ජීවිතය හුරු කරගත් නිසා ඩොක්ට වනවාට වඩා මහන්සියෙන් තොරව ලාබ ලෙස කොන්ඩොක්ට තනතුර ලබා ගැනීමට ලොකු එකා වූ කල සිතුවාද? 

අපි ලොකු වෙනකොට බොහෝ විට ලාබය ගැන සිතන්නෙමු. අපි ලාබය උදෙසා ගෙබිනමස්කාරයට පවා සූදානම් වන්නේ එනිසාය. සමහරෙක් බූරු නමස්කාරය ද කරති. (සත්වයින් උදෙසා පුද පූජා කරන මිනිස් ප්‍රජාව ගැන නොවෙයි මේ කතාව.) මොළේ කළදක් හෝ ඇත්තන්ට එය වැටහෙනවා ඇත.

අමුවට කා තරවී පසුවට මැෂිමක මළ ශුද්ධ කර ඇග බස්සවා ගන්නා ජාතියක්ද? අපි. නැත්නම් ‍එසේ වෙමින් සිටිනවාද? මැෂිමෙන් ඩයිනමෝ විදුලියක්වත් අමතර වාසි හැටියට ලැබෙනවානම්! කමක් නැත.

හැබැයි පයින් ඇවිද මග තොට රට තොට රස්තියාදු වී (පිට්ටනියකට පැන බෝල ගසා) ඒ රස්තියාදු මළ ශුද්ධ කොට ජීවිතයට එක් කර ගත්තා නම් ලැබෙන අමතර වාසිය කෝටියකි, දෙපා ශක්තිමත් වී ඇඟ පාලනය වීමට අමතරව ලොකුම වාසිය නම් මොළයේ නහර හොදින් ක්රියාත්මක වීමට පටන් ගැනීමයි.

ලාබ නිසා වට්ටක්කා වෙනු‍වට බණ්ඩක්කා මිලට ගෙන හරියන්නේ නැත. අතේ ඇති මුදලට ගත හැකි වට්ටක්කාව සොයා ගත යුතුය. ඒ සදහා පොළේ රස්තියාදු වීමට සිදු වනු ඇත. නමුත් එයින් පාඩුවක් සිදු වන්නේ නැත. මන්ද අවශ්‍ය තාව වට්ටක්කාවකි.

අපි අද ජීවිත පැවැත්ම උදෙසා වෙළදපොළ ලෝකයේ ජීවත් වන්නෙමු. ලාබ නිසා අනවශ්‍ය දේ ජීවිතයට මිලදී ගෙන ජීවත් වෙනවාද? අවශ්‍ය දේ රස්තියාදු වී හෝ ලබා ගෙන ජීවත් වෙනවාද?.........   තීරණය ඇත්තේ අප අතේ මුත්, බොහෝ දෙනා මෙහේ නම් පෙළඹෙන්නේ ලාබ ඇඩ් අනුව තීරණ ගැනීමටයි. හොද පාරිභෝගිකයෙක් වීම හොද මිනිහෙක් වීමට වඩා අගනේ යැයි කල්පනා වක් මෙහේ පහළ වෙමින් යන්නේ ඒනිසා විය යුතුය. හැබැයි මෙහේ එහෙම වූවාට කේතුමතියේ නම් ‍එහෙම නොවේ යැයි සමහරු කියති.

කෙසේ හෝ වේවා,

පොළේ රස්තියාදු වීමත් ඒ රස්තියාදුව ශුද්ධ එකක් කර ගැනීමත් ඔබේ වගකීමකි. ඔබ වෙනුවෙන් පොළේ යන්නට මට බැරිය. ඔබේ අවශ්‍යතා හා ඔබේ පඩිය දන්නේ ඔබයි. ගන්නා දේ වළදන්නේ ද ඔබයි. එහි අජීරණයක් වූයේ නම් අනාගතයේ විදවන්නේද ඔබයි. මෙය කියවා අද සිනහසුනේ නම් එදිනට ඔබට මා සිහිපත් වනු නොඅනුමානයි, හැබැයි එය රස්ටාගේ අනුමානයක් පමණි.

ගිහින් එන්නම්,

හමුවන තුරු රස්තියාදුවේ යළි,

 

වේවා ජයෙන් ජය..

No comments: