Friday, October 26, 2012

ඉන්ටමිෂන් -(මිෂන් අතහැර පුරන පර්මිෂන් පාරමිතාව)

"දියව් දියව්, අපිට දියව්" මම කෑ ගැසීමි. දින කීපයකින් උත්ඝෝෂණ රට පුරා දියත් විය. 

"සාකච්ඡාවකට එන්න" ‍එතුමා අපට ආරාධනා කළේය.

"වැඩක් ඇති දේකට මහන්සි වෙන්න" සාකච්ඡාව අවසන එතුමා මගේ පිටට තට්ටුවක් දැමුවේ ලෙංගතු කමකිනි.

"මම දිනනවා" නින්දට පෙර මගේ සිත දිගු කල්පනාවක ගැලී ගියේය. සතියකින් පසු මැතිවරණය එළැඹුණි.

"ජයවේවා" මම කෑගැසීමි. දින කිහිපයකින් ඡන්දය නිමා වූයේය.

 

"හෙට එන්ඩ, අද මේ වැඩේ කරන්ඩ පුළුවන්කමක් නෑ." මම ඔහුට කීවෙමි. හෙතෙම මගේ මුහුණ බැලුවේ කෝපයෙනි. 

"ඊළඟ" ඔහු කිසිවක් කියන්නට පෙර මම පෝළිමේ ඊළඟට සිටි තැනැත්තාගේ මුහුණ වෙත හැරුනෙමි.

"හෙට දින මට නිවාඩුවක් අවැසිය" මම ආයතන ප්‍රධානියාට දීම සදහා ලියුමක් සැකසුවෙමි.

"අපේ රට කියන්නෙ තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්" පොඩිඑකා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් දුන් මම තේ කෝප්පය තොලගාමින් පුවත්පතේ සිරස් තල වලට නෙත් යොමු කළෙමි.

"පාටියක් දාන්නම ඕනේ මේක සමරන්න" නිවාඩුවෙන් පසු දිනයේ මට නොනිල රාජකාරි බහුල වූයේය.

 

මෙලෙසින්ම සුපුරුදු ජීවිතය දිනෙන් දින ගලා යන්නේය. 

මම අලුත් ආලේපනයක් අත්හදා බැලුවෙමි. දැන් හිසකේ ප්‍රශ්නයත් බොහෝ දුරට විසදිලාය. 

ජීවිතයට සතුට මෝදු වන්නේ ටිකෙන් ටිකය. ඉදිරියේ ඇති විදෙස් සවාරියේ අසුනක් දැනටමත් මට වෙන්වී ඇත. කාළයක් මහන්සි වූ මිෂන් එකේ ප්‍රතිඵල අපතේ ගොස් නැති බව දැක මම සතුටු වීමි. 

සහකාරධූරයෙන් භාරකාරත්වයට පැමිණෙන දින මගේ දරුමුණුබුරන්ට හොද කලක් උදා වනු ඒකාන්තය.

 

ඉන්ටමිෂන්..

No comments: