Thursday, November 19, 2020

ෆේල් - නීතිය සාධාරණය දේශපාලකයාගේ රීතිය ලංකාවේ තියරිය හා ප්රැක්ටිකල්

 2020.11.18


දුක්ගන්නාරාළ තුමා,

ඔපීසිය,

ජනපතිතුමාගේ ලේකම් කාර්යාලය.


ගරු මැතිතුමනි,

                

               යුක්තිය ඉෂ්ඨ නොවීම


ආයුබෝවන්ඩ, දන්න දා පටන්ම ජනාධිපතිතුමා කී දේ අපිත් කියනවා. අදටත් කියනවා. අපිත් මේ රටට ආදරෙයි නොවැ. අපිත් කාටවත් බය නෑ, ඥාති මිත්‍ර කමට එහා සාධාරණේ, යුක්තිය අපිත් හොයනවා මහත්තයෝ. 

කාගෙ කාගේත් පම්පෝරි වලට වඩා කියනදේ කරන එකයි අපිටත් වැදගත්. අපි හැමදාම ඡන්දෙ දුන්නෙත් අපෙන් ඡන්ද ගත්තු අය කිව්වෙත් එහෙම. යුද්දේ කරපු තරමට, තව තව මහ වැඩ කන්දරාවක් කරපු තරමට කියලා අපිත් එතුමාව විශ්වාස කරනවා.

ඒත් ආයුබෝවන්ඩ, ජනාධිපතිතුමා යටතෙම ගමේ පොලිසිය, ගමේ සභාව, පළාතේ සභාව, සමහර රජයේ ආයතන ඒ කතාවට පස්ස හරවනවා නම්, සමහර ආණ්ඩුවෙම දේශපාලකයො, නිල බල ධාරීන් කියන අය වැරදි තැනට වැරදි විදිහට අත හොට පොවනවා නම්, එතනදි ගමේ ගොඩේ සාමාන්‍ය අපිව රකින්නේ කව්ද? නියපොත්තෙන් කඩලා විසඳන්න පුළුවන් සුළු සුළු කාරණා පොරොවෙන්වත් කපන්න බැරි රටේ ප්‍රශ්න බවට පත් කරලා,  අපිව මඩවලා රටක් සාර්ථක කොරගන්ඩ පුළුවන්ද? ආයුබෝවන්ඩ. හැමදාම උඩින් වෙනස් කොරන්ඩ හදන ඔය ක්‍රමේ ගමේ බිමේ හිරවෙන්නෙ, හිර කරන්නෙ ඔතැන නේද?

බිං මට්ටමේදි අපට යුක්තිය ඉෂ්ට වෙන්නෙ ඇත්ත මැරුණට පස්සෙ. එතකොට අපි භාගෙට මැරිලා. නැත්තං නොමරා මරලා. එහෙමත් නැත්තං අපිට වළපල්ලෙ ඉඳලයි ඒව දකින්ඩ වෙන්නෙ. 

පොඩියක් නෙවේ, හොඳටම හොයලා බලලා ගමෙන්ම පටන් ගන්ඩ ඔය ක්‍රමේ වෙනස් කිරිල්ල. අපිට යුක්තිය ඉෂ්ට කෙරෙන කල් අපි බලාන ඉන්නවා මහත්තයෝ. බලාගෙනම ඉන්නවා.


මීට, 

මේ රටේ ඉපදුණු, 

මේ රටවැසි කමේම මැරෙන්ඩ වෙන තවත් මිනිහෙක්

No comments: