Friday, November 1, 2019

අතීත මතක මැදින් ඇස්වැද්දෙන හරි සුන්දර ඡන්දය! (බත්කන අපේ හත්වෙනි බබා නොහොත් අපේ ප්‍රාථමිකත්වය)

18 වැඩි ලියාපදිංචි උන්ගේ සුළැඟිල්ලට දම් පැහැ තීන්තෙන් හණ ගසා ජනපතියෙකු පිළිසිඳවීමට කෝටි ගණනක සිරිලක් වැසියෝ 16 දා රති කෙළියට සැරසෙන වගයි! 
ඔසප්චක්රයේ ප්රශ්න මත ඊයේ සිටද ඉදිරියේ තව දින කීපයකදීද තැපෑලෙන් ඔය වැඩය කිරීමට ඇතැමෙක් ට අවසර දී ඇත.
ආසන්න අතීතයේ සිට බලන කල ඔය කෙළිය දැන් හරි මොඩිෆයි වී ඇති සෙයකි.

ගිනි අවි සහ ගිනි කෙළි නැත
අවකෙළි සහ අංකෙළි ඇත
පෙරළි පෙරළි සුරතලි  අර
රති කෙළියට සුළැඟිලි වෙද

බබා වීර පුරන්අප්පු කෙනෙක් වේද? මද්දුම බණ්ඩාර වගේ වේද? කෙසේ වෙතත් දෙමාපියන්ගේ හැටි පාට කෙසේවෙතත් හොඳ පාට පිහිටන බබෙක් පිළිසිඳවීමට හැමට අවශ්‍ය සක්තිය ලැබේවා! සුබාවික උපතක් නොවුනොත් සීසේරියන් සැත්කමකදී පැලෝපීය නාළ ආරක්ෂා කොට දීමට තියටර් එකේ කොමසාරිස්තුමා වගබලාගනිත්වා! 
17 දා බබා බලන්නට රටම එනු ඇත බබාට තෑගි ගෙනෙනු ඇත. බබා අප වෙනුවෙන් සඳුන් ගැටයක් නැතත් දහම් ගැටයක් හෝ අත තබාගෙන එනු ඇත. අප ඒ ගැටය උලා නළලේ ගා වසර හැත්තෑගණනක් තිස්සේ හිසේ හිතේ රටේ ඇති ඇරියස් අමාරුව හිරු දුටු පිණි සේ එකසැණේ හමාර කර ගන්නට පෙරුම් පුරා හිඳිමු.
බබාට නමක් අපි දැන් තියාම හදාගෙන සිටින්නෙමු. ඒ දුවක වුනත් පුතෙකු වුනත් අපි ඒ තුමාට පුදන්නේ හදපත්ලෙන් නැගෙන මුග්ධත්වයේ එකම ආදරයයි. 

No comments: