Tuesday, July 29, 2014

සියල්ල කර්මය අනුව සිදුවන දහම කුමක්ද? එය අප පිළිගන්නා දහම නම් නොවේ.

උදෑසණට කියන බණක හරි අපූරු කතාවක් කියවුණි. ඉන් කියවුනේ ළමයෙකු ගණිත විෂය අසමත් වූ කාරණයක් පිළිබදවයි. එම අසමත්කම පෙර අකුසලයක් නිසා සිදුවන්නට ඇති බව උපකල්පනය කොට ඒ අකුසලය මැකෙන්නට කියා දිළිදු දරුවන්ට පත පොත ලබා දීම ආදී ක්‍රියා සිදුකරමින් පාසැල්ද පංතිද ගිය අතර දෙවන වතාවේ දරුවා විභාගය සමත් වූ බව ඉන් කියවිණි. ඒ අනුව අර අකුසලය නිසා ගණිතය අසමත් බවට කළ උපකල්පනය නිවැරදි යන්න එහි අදහස විය. තවදුරටත් එහි කියවුනේ මෙවැනි බොහෝ දේ සිදු වන්නේ හා නොවන්නේ අපේ පූර්ව කර්මයට අනුව බවයි. එය ඇත්තක්ද? 

පොත පත ලබා දීම හොදය. දිළිදු දරුවන්ට නම් වඩාත් වටින්නේ ඔවුන්ට පත පොත මිලදී ගැනීමට හැකියාව අඩු නිසාය. එය වෙනම කරුණකි. මගේ විෂය අවබෝධය නිසි ලෙස නොවුනේ පූර්ව අකුසලය නිසාමද? සියල්ල දන්නා නුවණක් නැති අප කර්මයද තවරා ගෙන එවැනි කරුණු පිළිබද විග්‍රයන්ට යා යුතුද? ගණිතය අසමත් වීම, විභාග අසමත් වීම පූර්ව කර්මයක් පළදීමක්මද? උණ හෙම්බිරිස්සාව හැදෙන්නේ පෙර කරුමයක් නිසා නොවන බව දහය පන්තියේ දහම් පොතේත් තිබුනා මතකය. එය අපේ සරලම නුවණින් තේරුම් ගැනීමට තරම් සරල මදිද? අප දන්නා දහමේ නම් කියවෙන්නේ කර්මය යනු උතු , බීජ , කම්ම , ධම්ම , චිත්ත යන පංච නියාම දහම් වලින් එකක් හැටියටයි.

අප දහම ගැන දන්නේ අල්පයකි. එනිසා අප දහම ගැන ගැඹුරින් දේශනාවට යන්නේ නැත. නමුත් දන්නා දේ මේ දේශනාවල ළාමක බව තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත්ය. මෙබදු ළාමක දේශනාවන් ප්‍රචලිත වන්නට පටන් ගන්නා තැන අමූලික ශ්‍රද්ධාවන්තයන් තුළ ජනිත වන්නේ මුළාවයි.

විවිධ කරුණු ගැන අපේ උපකල්පන කීම එකකි. මෝඩකමට හෝ වේවා එය අපේය. නමුත් ඒ උපකල්පන දේශනාවක් මිස ධර්ම දේශනාවක් නොවේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය - කියා බණ ගැන වුවද කියන්නට සිදුවීම එක්තරා ඛේදයක් වුවත් යුගයේ සත්‍ය නම් එයයි. මේ කිසිවකු හෙළා තලා දැකීමක් නොව අපේ රස්තියාදුව තවත් මුළාවකින් ශුද්ධ කර ගැනීමක්මය.

එනිසා අපට කියන්නට ඇත්තේ අප පිළිගන්නා දහමේ නම් සියල්ල සිදුවන්නේ පෙර කරන ලද කර්මය මතම පමණක් නොවේ යන්නයි.

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

කර්මය අනුව සිදුවන දේත් ඇති. නොවන දේත් ඇති. නමුත් එවැනි කර්මය ගැන විග්‍රහ කිරීමට අපට දැනුම මදි. එබැවින් නොදන්නා කර්මය ගැන උපකල්පන සිදු කරමින් ඉන්නවාට වඩා නිවැරදි දේ හදුනා ගැනීමත් ඒ ඔස්සේ කටයුතු කරන්නට දිරිදීමත් සිදුකොට මේ භවයේ ක්‍රියාවන් යහපත් කර ගැනීම මගින් පවතින සමාජය වඩා යහපත් කරගැනීමට යොමුවීම වඩා වැදගත්ය.