Saturday, June 21, 2014

ඇම්ම ගැම්ම නැම්ම හා පස්සපැත්තෙන් යාම නොහොත් මේක අපේ රට - දෙකකුලෙන් යාම පිණිසයි.

රට ගැන හැගීමක් මොටද?

ඇම්මටද, ගැම්මටද, නැම්මටද?

අපේ පරම්පරාව පැත්තක තියෙද්දි -රට ගැන හැගීමක් තියෙනවයි කියන එක- පොඩි ආතල් එකක් තියෙන කික් එකක් තියෙන පොඩි පට්ට පහේ ඇම්මක් ගැම්මක් වගේම නැම්මක් ගන්න වැඩක් ද? කියල වෙලාවකට හිතෙන්නෙ වැඩිහිටි උදවියටත් ඒක ඒ ගානට දැනිල වගේ පෙනෙන නිසා.  හරියට මගුලටත් අවමගුලටත් දුකටත් සැපටත් අඩියක් ගහනව වගේ වැඩක් වෙලා තියෙන නිසා...

මේ රට පස්ස පැත්තෙන් යන‍්නෙ ඔන්න ඔය නිසා. 

පට්ට දේශපාලන අදහස් නොදැරුවට, ධනවාදයේ පරතෙර අස්සෙන් සමාජවාදයේ පරතෙර නොදැක්කාට, මහා බුද්ධිමත් උගත් පණ්ඩිතයන් නොවුනට, අනුන්ගෙන් බැනුම් ඇහුවට, හිත හොද, ඔළුව ඇතුළෙ සාධාරණ බුද්ධියක් ඇති මිනිස්සු තවම මෙහේ ඉන්නවා. අච්චර බුද්ධිමතුන් ඉන්නවට වඩා අන්න ඒ අහිංසක මිනිස්සු ඉන්න රටකට මෙහෙම වීම ඛේදවාචකයක්. අනුන්ගෙ හන්දියක හරි ලයිට් කණුවක දවල්ටත් ලයිට් පත්තුවෙන එක ජාතික අපරාධයක් කියල හිතල කණුවෙම පහළ තියෙන ස්විච් එකෙන් ඒක නිවල දාන මිනිස්සුත් තවම ඉන්න රටකට පස්ස පැත්තෙන් යන්න වීම හරිම දුක හිතෙන කතාවක්. ගන්න පඩියට විතරක් නොවී රජයේ රස්සා කරන මිනිස්සු තවම ඉන්න රටක මේක විළිලජ්ජාව හදාගන්න ඕන කතාවක්. පිනට විතරක් නැතුව ඕන තරම් දන් දෙන මිනිස්සු තවමත් ඉන්න රටක මේ පොළොව පළාගෙන යන්න ඕන කතාවක්.

ඇමරිකාව වගේ ඉදිරිගාමී රටවල් ඉස්සරට බර නිසා පොඩ්ඩක් වැරදුනු ගමන් ඇනෙන්නෙ හොම්බ. අපි වගේ රටවල් පසුගාමීව පස්සට වැඩි බරක් තියෙන නිසා වැරදුනු තැන බිම ඇනෙන්නෙ පස්ස. හොම්බ බිම ඇනීම වගේම හොම්බෙන් යන්නට වුනොත් ඒක වේදනාවක්. ඉතින් ආයෙ පස්ස බිම වැදීම හා පස්සෙන් යන්නට සිදු වුනොත් ඒකෙන් ඇති වන වේදනාව ගැන පර්යේෂණ කරලම වටහා ගන්න අයට මිස අනෙත් අයට අමුතුවෙන් කිව යුතු නැහැ.  ඒ වගේම හොම්බ ඇන ගන්න රටවල් පස්ස ඇනගන්න රටවල් ගැන විමර්ශනය කිරීම කියන්නෙ අමුම විහිළුවක් බව හිනා නොවෙන්න දන්න අයට මිස අනෙක් අයට කිව යුතුත් නැහැ.

තවමත් අපි මාතෘකාව වටේ ගියා මිස ඒ රස්තියාදුව ශුද්ධ කරන්ඩ ගත්තෙ නෑ. ඔන්න දැන් ඒ කතාව... 

තවම අපේ මිනිස්සුන්ට තියෙන්නෙ දේශපාලකයෙක් පස්සෙ බඩගාල, හිතවතෙක්ට සළකල දුව පුතාට හොද රස්සාවක් හෙවීමේ චින්තනේ. ඒ සාමාන්‍ය ගොල්ලන්ට. අනෙක් අයට ඒ ඒ තරාතිරමෙ හැටියට ධනය, බලය, මානය රැකෙන මට්ටමේ විවිධ රැකියා. තමන් විතරක් තනිව දියුණු කරන අධ්‍යාපනේ පරතෙර. හැබැයි ඉතින් කොහොම අධ්‍යාපනේ කළත් මන්ත්‍රී ඇමති ඇදුනුම් කමත් පක්ෂ සංවිධානෙ ලැයිස්තුවේ නම තිබීමත් අතිශය වැදගත්. අනේ සාධු.. මේ රැකියා අතරේ -සුරක්ෂිතව දිවි නසා ගැනීම වගේ- අමුතු දේවලුත් තියෙනව. කමක් නෑ, මොකද මටයි ගෙදර අම්ම තාත්ත ඇතුළු පවුලෙ අයටයි මැරෙන්න තරම් ප්‍රශ්නයක් තවම නෑ, හොද පඩියක් ලැබෙනවනම් එච්චරයි. පවුලෙ නෑදෑ කෙනෙක් හෙම සේවාව ගන්න ආවොත් පොඩ්ඩක් හොරෙන් දැනුවත් කරන්න පුළුවන්නේ වැඩේ භයානක කම ගැන, මේක තවත් බිස්නස් එකක් විතරයි කියලා.

එතකොට තව සමහර රස්සා නිකං ආතල් එකට රස්තියාදු වෙනව වගේ දේවල්. බඩු විකුණල ලකුණු දා ගන්න එක, අල කියල ලූනු දෙන්න හදනව වගේ ප්‍රමෝෂන් වැඩ. අපේ රටේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන කොල්ලො කෙල්ලො වැඩි පිරිසකට මෙවැනි රස්සා ලැබෙනව. ඒ ගොල‍්ලො හරි කැමතියි ඒවට, ලස්සන ඇදුමක්, සමහරවිට පයින් ඇවිද්දත් දාඩිය දාන්නෙ නැති වෙන්න ටයි පොල්ලකුත් ඕනනම් කෝට් බෑයකුත් දාගෙනම වැදගත් කමට ගෙයින් ගෙට පයින් කට්ට අවුවෙ ගාටන්න පුළුවන්. ලස්සනට බිස්නස් එක කෙ‍රෙනව. ඇවිදින තරමට මේ රටේ ගෙවල්වල පාරිභෝගිකයින්ගෙ වත්කම් තේරෙනව. ඩොලර් අහවල් ගාටන වැඩියිලු.  දේසපාලුවන්ගෙ හයියට තමන්ගෙ හයියත් දාල කප්පන් ගන්න වගේ වැඩ කරන්න පුළුවන් නම් ඒවත් හොද රස්සා අප්පා .. ඉක්මණින්ම දියුණු වෙන්න පුළුවන් ඒවායින් මෙහේ.

ඔය අතරෙ අපේ ඇගේ වැඩකරන ඇම්ම ගැම්ම තමන්ගෙ නැම්මට හරි ලස්සනට පාවිච්චි කරන අයත් ඉන්නනව. හැම කෙනා ගාවම හොද නවීන පන්නයේ ජංගම දුකරථන, ලැප්ටොප් කීවොත් ගොඩක් දෙනා හැරිල බලනව. පල්ලෙහා ඉන්න ගොඩක් දෙනා මේවට හරියට නැමෙනවා. උඩ ඉන්න අයට නොදැනීම තවත් උඩට යන්න තමන්ගෙ කොන්ද දන් දෙනවා. පින් නැතිව උනත් ඒ දන් දීම නම් පාප උල්පතක්, ඒත් ඒක සිද්ද වෙන්නෙ නොදැනීමනේ. බස් ලගදි නොහැරෙන ඔලු කාර් ලගදි හැරෙන ගතියක් ලගදි මම පාරෙදි දැක්කා.

ඉතින් ඔහොම සවිඥානිකව පාරෙ යන අය ඉද්දි කහ ඉරෙන් පාර පනින අයටත් තමන්ගෙ සීලෙ බිද ගන්න පොලිසියත් ආරාධනා කරනවා සමහර තැන්වල. ඒකෙ අනිත් අදහස මිනිස්සුන්ට කමක් නැත්නම් එයාලටත් කමක් නෑ වගේ තත්වයක් හැදිල තියෙන්නේ, ඒකත් හරි අපූරුයි. ගුරුවරුන් හා ළමයින් අතර සම්බන්ධයත් උපයන්න පුළුවන් ආදායමත් එක්ක ඉල්ලුමට සැපයුම වගේ තත්වයකින් අපූරුවට යනවා.  වැඩිහිටියො පොඩිවුන් දිහා බලලා අනේ අපේ හෙට පරපුර කියලා සන්තෝෂ වෙද්දී දරුවෝ වැඩිහිටියෝ දිහා බලලා අනේ මෙයාලට තේරෙන්නේ නෑනේ වගේ ගතියකින් බකං නිලාන ඉන්නවා. 

රට රැකගන්න කතා කරනවා, අවවාද දෙනවා, බණ කියනවා. පිළිපදින මනුස්සයගෙ කකුල කොනිත්තනවා. අපි අහවල් රටක් හදමු කියනවා. කැප කරන එකෙක් නැති ගානට ලක්ස ගණන් අතරේ පේනවා. ඉන්න එකා නොපෙනී යනවා. උදව් ලැබෙන්නේ හිගමනේ යන්නාට. කොන්දක් ඇති මිනිස්සුන්ට උදව් නෑ. මේ කියන්නේ දේශපාලනේ නැම්මවල් හදාගන්න කතාන්දර රගන උදවිය ගැන නොවෙයි. එක එක තැන්වල එක එක දේට හිතුමතේ ඔලුව පාත් නොකරන මිනිස්සු. එහෙම උදවිය රටකට ඕන නැති ගානයි. දුකටයි සැපටයි අඩි පුඩි ගහන මිනිස්සු හදන්න වියදම් කරන රටකට පස්ස පැත්තෙන් යන්න වෙන එක අහන්නත් දෙයක්ද? නමුත් නොතේරෙන්නෙ ඇස් කන් වීමවත් කන් වලට නොඇස් වී යාමවත් නිසා නොවෙයි. පිළිවෙතකට නොයාම නිසයි. ඔහෙ කියවනවා විතරයි. හරි හමන් තැනකින් පටන් ගන්න හයිය ඇති කරගන්නෙ නෑ. එතනට ඔය කයිවාරුකාර බොහෝ දෙනා කැපවෙන්න සූදානම් නෑ. ළිදට වැටුණු මිනිස්සු ‍ඒ කටෙන් හරි උමගක් කපල වෙන තැනකින් ගොඩ එන්න හරි වෙහෙසෙන්න ඕනමයි. නමුත් අපේ උන් හදන්නෙම ආඩි හතේ කැදහැලි බොහෝ තැන්වල ලක්ස ගණනින් එකතුවෙලත්.

ඒ අතරෙ ඇම්මට හදාගන්නා ජාති වාදත්, ගැම්මට හදාගන්නා අහවල් වාදත් තුළින් රටට නැම්මවල් දීමට ගොස් හදන්නේ පස්ස පැත්ත තවත් තුවාල කිරීම පමණයි.‍ ඒ තුවාල තවත් වැඩිවූ දාට ආයේ කන දේ දිරෙව්වත් බැහැර කර ගන්නට බැරි තත්වයක් හදා ගතහොත් එදාට තේරේවි යන්නේ පස්සෙන් බව. අපේ උදවිය බොහෝ දෙනාට තේරෙන්නේ එවැනිම විටෙකයි. එතකොට කැපකිරීම එන්නේ බණක් ලෙස නොව අණක් ලෙස බලහත්කාරයෙන්. අපේ පසුගාමිත්වය එයට කැමතියි. පසුගාමිත්වයෙන් සිට හොම්බෙන් නොයන තරමේ ඉදිරිගාමිත්වයකට අප පැමිණිය යුතුයි. එතැනට නම් අවම වශයෙන් අප එකිනෙකා අවංක ව සිතන තැනකට පැමිණිය යුතුයි. පටු ආත්මාර්ථයෙන් අත්වන විනාශය විදවමින් විලාප නගමින් වෙනස් වන්නට සිද්ද කරගන්නවාට වඩා, තමා ගැන විලසින්ම අනෙකා ගැන හිතන යුගයකට කල්පනා නො‍කළහොත් ..... අපි අපවම රවටා ගැනීමේ ඛේදය බරපතළ අයුරින් අපේ අනාගතයට පහරදෙනු වැළැක්විය නොහැකි වේවි. අපේ ළාමක බවට දැනෙන අළාමක තත්වාකාරය නම් එයමැයි.

යා යුත්තේ දෙපයිනි, එනිසා තතු විමසිය යුතු සේම නිවරද දේ වටහා ගැනීමත් ඒ හා එක්ව යාමත් කළ යුතුමය.

1 comment:

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

හිතා හිටියත් ඉහත ලිවීමෙන් ගිලිහුණු වැදගත්ම කරුණක් වෙයි. එනම් ජාතිය, ආගම පිළිබද ඇල්ම හා පිළිවෙතකට පිවිසීමට වඩා ඇම්මෙන් හා ගැම්මෙන් පුප්පන්නට හදන උන් එක්කහු කොට රටින් පිට මළමුහුදේ ගිල්ලවිය යුතු බවයි. ඒ උන්ව මරා දැමීමේ අරමුණෙන් නොව සියලු ධාරා වලින් ගලන ජලය එකතු වන තැන රසයේ අධිකම සාන්ද්‍රණයෙන් උන්ගේ කට දිව පෙගී පස්ස පැත්තේ ඇති මොළ වලට ලේ ඩිංගික් ගලන්නටය. උන්ගේ රුදාව බහිනතුරු මළ මුහුදේ උන් නොගිල්ලෙව්වොත් රටේ සාමකාමී ජනයාට වන්නේ වන වදින්නටය. ඒ නිසා රට ගැන හැගීම යනුත් එක එකා මරා ගන්නා තුච්ඡ බව නොව සද්භාවයෙන් යුතු මෙහි උපන් හැමට එකලෙස විදිය හැකි උපද්දා ගත හැකි හැගීමක් විය යුතුය. බහු දනා සුළු දනන්ව සුළු කොට තැකිය නොයුතු සේම සුළු දනාද බහු දනන්ව සුළු කොට තකන්නට ද යා නොයුතුය. ඇගිලිවල තරම අප දන්නා තරමටය අපට අතකින් වැඩ ගත හැක්කේ. ඒ ඇගිලි ප්‍රමාණය අනුව කොටස බෙදා ගන්නට ගියහොත් අවසන ඉතිරිවන්නේ ඇගිලි නැති හිස් අල්ලක් පමණි. වහා වහා නිවරද විය යුතුය. මේ බල බලා පුල පුලා සිටීමට කාලයක් නොවේ. වහා ගිනි ඇවිලෙන සුළු සුපිරි තෙල් නැව් ගණනින් දසතම හලා විසුරුවා ඇති කාලයකි. අප්‍රමාදය සැනසීමට මගය. ප්‍රමාදය විනාශයට මුඛයය. රට ගැන සද්භාවී හැගීම, අනුන් ගැනද තමන් ගැන මෙන් සිතීමේ හැගීම බලහත්කාරයෙන් හෝ උපද්දා ගත යුතුමය. පස්සෙන් යන්නට හෝ රටක්, හෙට දිනටත් රටක්, හෙට උපදින අයටත් රටක් ඉතිරිවන්නේ එවිටය.