Monday, May 8, 2017

තුන් කල් විද්‍යාව නොහොත් බුදුන්ගේ දහම (කැලැන්ඩරයේ කහපැහැ නිවාඩුවට එහා)



විද්‍යාව විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ සිය  හෙළිදරව්ව ගෙනෙන්නේය. අතීතයට වඩා වර්තමානයේත් වත්මනට වඩා අනාගතයේත් විද්‍යාව යනු එකම දැනුමක් නොවේ. දිනෙන් දින එහි හැඩය වෙනස්ය. එබැවින් කලින් කලට විද්‍යාවේ අර්ථ දැක්වීම් එකක්ම නොවෙයි.
බුදු දහම ධර්ම මාර්ගයක් ඔස්සේ තම  හෙළිදරව්ව ගෙනෙන්නේය. එහි අතීත වර්තමාන අනාගත කාල බේදයක් නොවේ. ඉන් ගෙනෙන දැනුම එකක්මය. එහි හැඩය නොවෙනස්ය. 
සියල්ල අනිත්‍ය බව පැවසෙන දහමක ස්ථිර බවක් නම් කුමක්ද?
එනම් මේ පවසන්නේ දහමක් සමාජය තුළ පැවතීමේ ස්ථිර බවක් නොව එහි අන්තර්ගතයේ නොවෙනස් බවයි. එවිට ඒ දහම තුන් කලටම එකක්ම වෙයි. 
විද්‍යාව වයනය මහත්කොට සළකයි. එනම් අතටත් වඩා මොළයටයි. බුදු දහම ප්‍රත්‍යක්ෂය මහත්කොට සළකයි. ඒ මොළයටත් වඩා අවබෝධයටයි. මොළයට ස්පර්ෂය බුද්ධිමය තාර්කිකත්වය වෙද්දී අවබෝධයට ප්‍රත්‍යක්ෂය මොළයේ බුද්ධිමය තාර්කිකත්වය අබිබැවූ පරිපූර්ණත්වයක් වෙයි.
බුදුන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා වන්නේ එබදු පරිපූර්ණ අවබෝධයේ පරිසමාප්තියට පත් අයෙකු හැටියටයි. 
එබැවින් බුදු දහම අපේ විද්‍යාවෙන් පරම ලෙස විචාරන්නට යෑම අන්ධයන් ඇතුගේ හැටි කියනවාට දෙවැනි නොවේ. හේතු ඵල දහම, ජීවිතයේ උපත, විපත, වෘද්ධභාවය, රෝගීභාවය  ආදී අපට මගහැරිය නොහැකි ගැඹුරු සත්‍යන් මත බුදුදහම විචාරය ඊට වඩා සුපැහැදිලි මගකි. 
තෙමගුල සැමරීම යනු සැබවින්ම බුදුන් දැකීමයි. බුදුන් දැකිය හැක්කේ ධර්මය දකින්නාටයි. ධර්මය දැකිය හැක්කේ කාටද? බුදුන් දේශනා කලේ උන්වහන්සේගේ දහම නැණතියන්ට බවයි. ඒ නැණ නම් ප්‍රඥාවමැයි. 
බුදුරදුන්ගේ උපත සම්බුද්ධත්වය හා පිරිණිවන නැවත ආපසු බොදුනුවාට ඒ  ප්‍රඥාවට එළැඹෙන්නට වසරකට වරක් දෙන මතකයයි. 
ඔබ ගන්නේ ඒ මතකයද? ඒ ගැන වගවෙන්නා ද ඔබට ඔබමයි.


2 comments:

වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු ) said...

++++

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

වාසිත මං සුභාසිත, කලිනුත් දුටුව දැමුව ප්ල්ස් ටික ... ස්තුතියි මෙහි ඇවිත් ගියාට