Sunday, May 26, 2013

අපි කළ ගොන්කං නුඹලා නොකරගං

(මිනිසා අනුකරණයට උපන්ගෙයි හපනෙකි. ඒ පිළිබද සිතා ගෙන මෙය කියවන්න.)

මරණයට නියම වූ මිනිසෙක් සිය පාපෝච්ඡාරණය කරමින් කියා සිටියේ මා කළ වරද කිසි දිනක සිදු කරගන්න එපා, ජීවිතය වන්දි‍ගෙවන්න වේවි යනුවෙනි.

හුදු රස්තියාදුවකින් අත්වන ජීවිත නන්නත්තාරය වටහා ගත් මා කියන්නේ රස්තියාදුව ශුද්ධ කොට ජීවිතය වටහා ගෙන ජීවත් වන්න කියාය.

අත්හදා බැලීම් අවැසිය. එහෙත් ඒ අත්හදා බැලීම් වල පරමාර්ථය ශුද්ධ එකක් නොවේ නම් අත්වන්නේ විනාශයම පමණි. අත්හදා බැලීම් ජීවිතයට අවශ්‍ය සේම එයට නිසි මාර්ගයද වටහා ගත යුතුය.

විෂ ගන්නේ විෂ නැසීමට නම් ප්‍රතිවිෂ තැනීමට නම් විෂ වුවත් විෂ නැසීමට භාවිතා කළ හැක. එනමුත් විෂ ගන්නේ හළාහල විෂ තනන්නට නම් අත්වන්නේ දරුණු විනාශයයි. 

මේ කියමන් කීපයක් කීවේ යහපත් වූ අරමුණකිනි. ප්‍රතිපදාවක් කියා දෙයක් ජීවිතයට නැති දිළින්දෝ යම් යම් තැන් වල යම් යම් ක්‍රියාවන්කරති. පසුව තවත් අය ‍එවැනි දේ කළ විට මෙසේ කියති.

අපිත් අහවල් අහවල් දේ කරා (උඹලත් ඒක කරපන්!)ඕව කරාට කමක් නෑ...

අපි කල පමණින් සියල්ල නිවැරදිද? අපි අතින් වූ වැරදි නැතිද? එනිසා යමක් දුටු විට එය අපි අතින්ද සිදු වී ඇති දෙයක් නම් වැරද්ද වුවත් එලෙස සිදුවීම ප්‍රශ්නයක් නොවේද? කොටින්ම අපි කල නිසා කිසිවක් හරි හෝ වැරදි වන්නේ නැත යන්න මෙහි අදහසයි. එම කල ක්‍රියාව විසින් ඇති කරනු ලැබූ ප්‍රතිඵල සියල්ල විමසුමට ලක්කර මිස ඒ පිළිබද තීරණයක් දීමටද නොහැකිය. එනිසා නිවැරදි ක්‍රියා වටහා ගැනීම යනු වත්මනෙහි කෙසේවත් පහසු දෙයක් නම් නොවේ.

ජීවිතයේ හය හතර දැනගන්නටත් පෙරම සමාජීය ක්‍රමය විසින් කුරුවල් කරනු ලබන බාලයින්ට යමෙක් දෙන ඔවදන 'උපන් ගෙයිම ගෙල සිදීමක්'  බදු නම්, එවැනි සමාජයක බිහිවන්නේ නරුම සිත් මිස අන් ‍කවරක්ද?

එනිසා ලජ්ජාවත් බියත් එකවිට නසා ගන්නා 'හුදු සංචාරයක්' බදු  ජීවිත රස්තියාදුවකට ගොස් උපන් ගෙයිම ගෙල සිද නොයා ඉවසීමෙන් අවබෝධයෙන් සැහැල්ලු ජීවිත ගමනක් යන්නට බාලයින් දිරිමත් කළ යුතුය.

එවිට ජීවිත රස්තියාදුව ශුද්ධ කරගැනීම අතිශය වැදගත් දෙයකි. රස්තියාදුව ශුද්ධ සිතින් වීමද වැදගත් දෙයකි. ඒ මේ 'රස්තියාදුව' යන්න හොද වූවත් නැතත් අප මේ යුගයේ ගතින් සිතින් නිරන්තර රස්තියාදු වන ක්‍රමයක සිටින බැවිනි. නොදැනම රස්තියාදුවක හිදින බැවිනි.

මා කුඩා කල සිට පංචින් බෑග ක්‍රමයට දෑත් පුහුණු කළේ වගේම බිත්ති වලට තඩි බාමින් දෑත් පුහුණු කළේ නිකම් ආසාවටය. ක්‍රමයෙන් මා ආවේගශීලී වෙන අවස්ථා වලදී බිත්ති දෙදරුවේ මගේ දෑතක පහරකිනි. දිනක් මම පාඩමක් ඉගෙන ගතිමි. ආවේගය විසින් මට ඉවසීම පිළිබද පාඩමක් උගන්වුවේය. උච්ච ආවේගය නිසා එල්ල කළ අත්පහරේ ශක්තිය ශක්තිමත් බිත්තියෙන් පරාවර්තනය වී මගේ වෙදගිල්ලේ අස්තියක් යම් ලෙසකට භග්න කළේය. මම ආවේගයේ බිහිසුණු කම වේදනාවත් සමග අත්දුටිමි. එයින් කිසිවෙකුට හානියක් නොවී මටම වූ හානිය ගැන ස්තූතිවන්ත වුනෙමි. අවසන මගේ ඉවසීම නොඉවසිය හැකි මට්ටමකට ප්‍රගුණ වෙමින් ගියේය. දැන් මම ආවේගය පාලනය කරමි. නිසි තැන නිසි ලෙස මුදා හරිමි. 

එනිසා කියන්නේ මම කළ නිසා උඹත් කඩා ගෙන ඉවසීම ඉගෙන ගනින් කියා  නොව අත කඩානොගෙන මේ පාඩම ඉවසා ඉගෙන ගෙන උපන් ගෙයි ගෙල සිද නොගන්නා ලෙසටයි. මන්ද ඉවසීමෙන්ම කල්තියා කල්පනා කළේ නම් මේ ආවේගය මිදීමේ ක්‍රමය සැබවින්ම ගොන්කමක් යන්න කලින්ම මා වටහා ගත යුතුව තිබුනු නිසයි. නිසි ක්‍රමය මට ප්‍රගුණ කළ හැකිව තිබූ නිසයි.

එනිසා නැවත කියමු, අපි කළ ගොන්කන් නුඹලා නොකරගන්..කියා.

No comments: