Sunday, May 12, 2013

අනුකම්පං උපාදාය :)

අනුකම්පාව ලොක්කන්ගෙන් පොඩ්ඩන්ට ලැබෙන සිගමනක්ද?

සමහරුන්ගේ ක්‍රියාකලාප දකින විට තවත් සමහරෙකුට හිතෙන්නේ එහෙමයි. ඒත් අනුකම්පාවට ලොකු පොඩි බේදයක් ඇති බව ඔබට සිතෙනවාද? හිතෙනවානම් එය ඔබේ ප්‍රශ්නයකි. 

අපි කාටත් අනුකම්පාව අවැසිමයි. ඔබ මට අනුකම්පා කරන්නේ යම් විටෙක දීද මටද විටෙක ඔබට අනුකම්පා කිරීමට සිදුවනු ඇති. ඉහළ පහළ යාම් ඊම් සහිත දිවියක් උරුම කරගත් 'මිනිසා' සකළ බාධක කම්කටොළු ජයගත් අපරාජිත සත්වයෙක් ‍වන්නේ යම් දිනෙකද එදින දක්වා අපට එකිනෙකා කෙරෙහි අනුකම්පා කිරීමට සිදුවන්නේමය. 

අසනීපවී ලෙඩ ඇදේ හිදිනා මා හට ඔබ අනුකම්පා කරන්නේ යම්සේද ඔබ ලෙඩ ඇදේ හිදිනා විට මමද එලෙසින්ම ඔබට අනුකම්පා කරමි. එවිට එතැන සිගමන් දීමක් හෝ ගැනීමක් ඇත්තේම නැත. ඇත්තේ හුදු වටහා ගැනීමක් මෙන්ම කම්පාවකි. 'මම' ගැන මා හිතන ආකාරයටම 'ඔබ' ගැනද සිතීමකි. 'ඔබ' 'මම' ගැන සිතීමකි. 

දිනපතා පොදු ප්‍රවාහනයේ යන එන ජනයා දකින පුද්ගලික වාහ‍නයේ ගමන් යන්නාට විටෙක ඒ ජනයා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි. එලෙසින්ම දිනපතා පුද්ගලික වාහනයේ යන කෙනෙකුට එක් දිනෙක හදිසියේ හෝ පොදු ප්‍රවාහනයේ යන්නට සිදුවීමේදී මේ පොදු ජනයාද ඔහුගේ දුක සැහැල්ලුවට ගත යුතු නොවේ. ඔහුට හෝ ඇයට ඇතිවන දුක හාස්‍යට ගත යුතුද නොවේ. අනුකම්පා කළ යුතුය. 

එබැවින් අනුකම්පාවට තරාතිරමක් නැත. නමුත් ඔබ වෙත කෙනෙකු අනුකම්පා සහගත ලෙස බැලීම ඔබ අසර‍ණයෙකු බවට පත් කිරීමක් ලෙස ඔබ සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. නැතිනම් ඔබ තවත් අනුකම්පාව යදින්නට සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. ඔබ ගුණවත් වන තරමට අන්‍යන්ගේ අනුකම්පාව ඉවසා දරා ගැනීමටත් අන්‍යන් වෙත වඩ වඩාත් අනුකම්පා උපදවා කටයුතු කිරීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. ව්‍යාජ මාන්නයෙන් එවිට ඔබ මිදෙනු ඇත. අප හැම අතර කිසිදා දුකට පත්නොවන ජනයා ඇත්නම් ඔවුන්ට අනුකම්පා කිරීමට අපට ඇවැසි නැත.

එබැවින් සැම සැමට අනුකම්පා කරත්වා!

කාරුණිකත්වය දො‍්රෙ ගලත්වා . .

No comments: