Wednesday, May 1, 2013

පරම ඥාතියා

දහමෙන් අපට ඉගැන්වූ සේම පරම ඥාතියා 'විශ්වාසය' යන්න මම තරයේ අදහමි. මගේ අයිතිය භාවිත කරමින් මම ඔබට මේ පිළිබද යෝජනා කරමි. ඔබේ අයිතිය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුය. 

හොද විශ්වාසයෙන් සිදුවන්නේ හොදක්මය. නරක විශ්වාසයෙන් සිදුවන්නේ නරකක්මය. එක් අතකින් හොද විශ්වාසය යනු විශ්වාසය මත පදනම් වීමත් නරක විශ්වාසය යනු විශ්වාසය මත පදනම් නොවීමත් ලෙසින් ද ගත හැක. 

කෙනෙකු යම් විශ්වාසයකට එළැඹෙන්නේ ඉන්ද්‍රිය ගෝචර තත්වයන්ගෙන් ම බොහෝ දුරට තහවුරු වන කරුණු මත වීම සාමාන්‍ය ස්වභාවයයි. එසේ නොමැතිනම් බොහෝ කොට බො‍හෝ දෙනා හෝ ‍‍බොහෝ කාලයක් සමාජයේ පවතින දේ හෙවත් සම්මත හා සම්මුති මත පදනම් වෙමිනි. අනිත් අතින් ඥානනය උදෙසා රස්තියාදු ගසන්නන් ආදීන් විශ්වාසය පිණිස බොහෝ දෑ තැන නොතැන නොබලමින් අවුස්සමින් යන්නේ විශ්වාස භංග සමාජයක නිසි චින්තනයක් සොයාය. එහෙත් විශ්වාසය යනු මේ කිසිවක් නිසාවත් දැඩිවම අල්ලා රදවා පැවැත්වෙන්නක්ද නොවේ. එය බලහත්කාරයෙන් රදවා ගැනීම අපහසුය. එය යම් යම් බාහිර සාධක මෙන්ම අභ්‍යන්තර සාධක මතද රැදෙනු ඇත. සමහර විට අප විශ්වාස කරන පුද්ගලයෙකු සම්බන්දයෙන් අප බිද වැටෙන්නේ ඔහු හෝ ඇය සම්බන්දයෙන් වැරදි ආරංචි අසමිනි. විශ්වාසයේ ශක්තිමත් භාවය අනුව ආරංචිය ලොකු හෝ පොඩි විය හැකි සේම ආරංචියේ විශ්වාසනීයත්වය අනුව විශ්වා‍සයේ ශක්තිමත් භාවය තීරණය වීමටත් හැකිය. කෙසේ නමුත් වැදගත්ම දේ අනුන් වෙත පළමුව තමන් වෙත විශ්වාසය ජනිත වීමය. තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබද විශ්වාසය ජනිත වීමය. එවිට තමාගේ පරම ඥාතියා තමා අසළම සිටී. එවිට තනි වීමක් බියක් නොවේ. ශක්තිය, ජවය, පිබිදීම ඇතිවෙයි. ‍

කෙසේ නමුත් මෙසේ තමාට තමා ගේ විශ්වාසය තහවුරු වීමට නම් තමා පිළිබද හොදින්ම දන්නා තමාට තමා අවංක විය යුතු නොවේද? ඉතිං එසේ අවංකත්වය තුළ ඇතිවන නිවැරදි වටහා ගැනීම අපේ විශ්වාසය තහවුරු කරන්නක්ම වෙන්නේය. එවිට අපි අපේ ආත්ම විශ්වාසය ඉහළ යැයි කියන්නෙමු. ආත්මය කෙසේ වේවා, විශ්වාසය වැදගත්ය. නිවැරදි විශ්වාසය වැරදි විශ්වාසය මෙන් විනාශය කරා අපව නොමගෙන යන්නේය. එබැවින් වැරදි විශ්වාසය වටහා ගනිමු. එයින් ඉවත්ව නිවැරදි විශ්වාසයක් ඇතිකරගත හැකි දේ සොයමු. පරම ඥාතීන් හදුනා ගනිමු.

No comments: