Wednesday, May 29, 2013

‍ගොඩයා(මඩයා කව්ද?දැනගන්න)

වර්ණ භේදය, ජාති භේදය, කුල භේදය සමාජයේ දියුණුවත් එක්ක නැති වෙලා ගිහින් කියල හිතුවත් එතරමකට දියුණු සමාජයක් ලෝකයේ නෑ කියල විමසිල්ලෙන් බලනකොට කාටත් තේරුම් ගන්න පුළුවන්. 

මේ ‍භේදයත් එක්කම යන තවත් ලස්සනම වචනයක් ලගදි දකින්න ලැබුන. ඒකත් නැතිවෙලා ගිහින් කියල හිතුනට තවමත් 'මඩයෝ' එමට බව ඒ වචනෙ ඇහුනත් එක්කම තේරුනා. 

'ගොඩයා' මෙහේ සාමාන්‍ය ව්‍යවහාරයේ තාමත් ඉංග්‍රීසි පන්නය නොතේරෙන, බටහිර සංකල්ප  නොදන්නා, කොළඹ නරුම පන්නය නොතේරෙන වගේම ඒ සිරිත් විරිත් අනුගමනය නොකරන සමහර උදවියව හදුන්වන්නට මේ වචනය පාවිච්චි කරනවා. පළමුවෙන්ම සිහිපත් කළ යුතුයි. අසාමාන්‍ය නොවන මොනයම් මිනිසාත් කන්නේ කටින් හා ජීර්ණය වූ ඉතිරිය පහ කරන්නේ අධෝමගින් කියන එක. ඔය ගොඩයායි කියන කෙනාත් කටේ දිවේ ඉංග්‍රීසිය ගාගත් බටහිරින්ම නිපදවෙන වෙන වෙන ගැජට් ඇග පුරා වනා ගත්තත් ඒ උදවියත් ප්‍රධාන ශරීර නඩත්තුව කරන්නේ ඔය මාර්ග දෙකෙන්ම තමයි කියන එක. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් මිනිසුන් ජනිත නොවන්නා සේම ගොඩයින් හෝ මඩයින් ලෝකයේ ජනිත වී ඇත්තේත් නෑ. 

මිනිසුන් තමන් හැදෙන පරිසරය, සංස්කෘතිය විසින් යම් යම් පරිදි පෝෂණය වනවා හැර එහි වරදක් හෝ අඩුවක් කියා දෙයක් නෑ. ඇත්තේ යම් යම් ගනුදෙනු වලදී තිබෙන නොදන්නා කම නිසා ඇති වන දුර්වලතා, අපහසුකම් වෙන්න පුළුවන්. ඒත් කිසි කෙනෙකු සංස්කෘතික පරිසරයන්හී ඇති නොගැලපීම් මත 'ගොඩයා' කියා යමෙකු හදුන්වනවානම් ඒ තැනැත්තාව හදුන්වන්නට වෙන්නේ 'මඩයා' කියා පමණයි. ‍ගොඩයා තවරා නොගත් මඩ තවරාගත්තෙකි ඔහු. එනිසා මිනිහෙකුගේ නොගැලපීම හෝ හැදියාව මත 'ගොඩයා' යි කීම මේ ගැජට් ලෝකයේ අතිශයින්ම ඉංග්‍රීසි පන්නයක සිහිනයක් තුළ ජීවත් වන 'මඩයා' කෙනෙකුගේ කතාවක්ම පමණි. 

යම් අදහසක් කැටි කර කියන වචනය එකපැත්තකට විතරක් නොවෙයි, එහි විරුද්ධාර්ථයක් ද තිබෙනවා. එහෙනම් පිරිසක් ‍ගොඩයින් නම් ගොඩයින් නොවන අනිත් අය මඩයින්. ඒ ආකාරයෙන් ගත්විට ඇත්ත එබදුයි. 

එබැවින් කටින් නොකීවත් 'ගොඩයා' සංකල්පය සිතේ තිබෙන අයටත් කිව යුත්තේ ඔබ හිතනවානම් ඔහු හෝ ඇය 'ගොඩයා' කියා, දැනගන්න 'මඩයා' ඔබයි කියා.

No comments: