Sunday, June 2, 2013

ගරු.....(ආචාර්යවරුන්ට පමණක් නොවේ)

මෙය කියවන පාඨක ඔබ සැමගෙන් අවසරයි, ගරු මහත්ම මහත්මීනි...

ඔබ ඇත්තටම ගරු කටයුත්තෙක්ද? හැමදෙයක්ම තමන්ගෙන් ප්‍රශ්න කරල ජීවිතය තේරුම් ගන්න ඕන මිනිස්සු එකිනෙකා තම තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක්. මොකද්ද මේ 'ගරු' කම. ලොකු කමක්ද? නැත්නම් ආත්ම ගෞරවයයි කියන එකද? නැත්නම් බය හින්ද ඇතිවෙන දෙයක්ද? මුදල් හින්ද ලැබෙන ‍දෙයක්ද? සමාජ තත්වයයි කියන එකක් නිසා ලැබෙන දෙයක්ද? බොහෝ කෙටි ප්‍රශ්න වල පස්වෙනි නැත්නම් අවසාන උත්තරය වගේ ඉහත සදහන් සියල්ලම නිවැරදියි' ද.

ඇත්තෙන්ම මිනිහෙක් හැටියට ඉපදුනු ඔබත් මමත් ගරු කරන්න ඕන කාටද, මොකටද, කියන එක මොළේ ආබාධයක් නැති, හදවතේ කහටක් තියාගන්නෙ නැති, කාටත් ගැති නැති මෙන්ම  නිර්භීත ඕනම කෙනෙකුට සාමාන්‍ය වශයෙන්ම තේරෙන දෙයක්. නමුත් ඉතිං ඔය ඉහත සියලුම ගුණාංග එකට තියන මිනිස්සු අඩු නිසාම ගරු කිරීම කියන දේට අපේ සමාජයේ හරි අර්ථකතනය බොහෝ විට ලැබෙන්නේම නැහැ.

අපි එකිනෙකාට ගරු කළ යුතුයි කියල අපේ සමාජයේ සාමාන්‍ය කතාවක් තියෙනව. ඒ වගේම අන්‍යන්ගෙන් ගෞරවය ලබන්න නම් තමන් අනෙක් අය වෙත ගරු කළ යුතුයි කියන කතාවකුත් තිබෙනව. මීට අමතරව ගරු කටයුතු පුද්ග‍ලයා කවුරුන් වුවත් විවිධ ආකාරයේ ගරු කිරීම් සමාජයේ අපි එදිනෙදා දකිනව.

මේ සියලු කතා මෙහෙම නම් අපි ඇත්තෙන්ම ගරු කළ යුත්තේ කාටද? මුලින් කියූ පරිදිම හැම දෙයක්ම මෙන් ගරු කිරීමත් තමන්ගෙන් පටන් ගන්න දෙයක් විය නොහැකිද. මට පුළුවන්ද මට ගරු කරන්න. බැරි නම් මම පිළිගන්නවා මම එතරම් හොද පුද්ගලයෙක් නොවෙයි කියන එක. අනිත් අතට මට පුළුවන් නම් මට ගරු කරගන්න. මම හිතනවා මම සැළකිය යුතු ගුණාංගයක් සහිත පුද්ගලයෙක් කියලා. එතනින් තේරුම් ගන්න පුළුවන් කාරණය තමයි, අපි කොයි කවුරුත් තමන් ගැන හිතද්දි වුනත් සැළකිලිමත් වෙන්නේ තමන්ගෙ ගති ලක්ෂණ, ගුණාංග පිළිබදව කියලා. පුහු මාන්නයකින් මම ගරු කළ යුත්තෙක් කියල හිතාගෙන ඉන්න මානසික ව්‍යාධියක් ගැන නොවෙයි මේ කියන්නේ. හොද සිහි බුද්ධියෙන් තමන්ට තමන් ගැන හිතිය හැකි මානසික නිරෝගී භාවයක් ගැන. ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය කියන දේ ගැන කතාකරන්න මිනිහෙකුට පුළුවන් වෙන්නෙ එතැනදි. ආත්මයක් වශයෙන් ආත්ම ගැනීම නොවෙයි, ව්‍යවහාර වශයෙන් ආත්ම යනු 'මම' 'මගේ' යන හැගීම නම් ‍එ අයුරින්  මට මා ගැන තක්සේරු කිරීමේ හැකියාවක් ලබා ගැනීමයි. තවත් විදිහකට කියනවා නම් මගේ හැගීම් වල ගුණා ගුණ පිළිබද තක්සේරුවක් මට තිබීමයි. මගේ හැගීම් පිළිබද මටම ඇති අවබෝධයයි. මම ගැන මම හොදටම දැනගෙන සිටීමයි.

දිගින් දිගටම කීවේ ගරු කරන්නට නම් යමෙක් යමෙකුට හැබෑවට, දැනගත යුතු බව නිවැරදි ගුණය කුමක්ද යන වග. 

අපි එකිනෙකාට ගරු කරන්නෙ මිනිසුන් හැටියට මිනිස් කමට වුවත් ඒ හැගීමේ ප්‍රබලත්වය මතුවෙන්නේ ඒ මිනිහාගේ ගුණයත් එක්කයි කියන එක යටපත් කරන්න බැරි සත්‍යක්. මිනිස් නම් වූවාට මිනිස් කම් නැත්නම් අපේ ගරුත්වයත් ගරු... නම් වූවාට සැබෑ ගෞරවයක් වෙන්නේ නම් නෑ. එනිසා නමින් ගරු නොවී හැගීමෙන් උපදින ගෞරවය හොයා යන්න. හොයා ගන්න.  

මේ අදහස කාගෙන්වත් ගෞරවය හොයායන්න කියා නොව හැබෑ ගෞරවය යනු කුමක්ද යන්න හදුනාගත යුතු බවත් එවැනි ගෞරවය ලැබිය යුත්තන් එබදු ගෞරවයෙන් පිදිය යුතු බවත්මය. එලෙස ගෞරව නොකළ යුත්තන් විශේෂයන්ගේ ලයිස්තුවෙන් ඉවත් කර සාමාන්‍ය මිනිහෙකුට ලබා දිය යුතු ගෞරවය පමණක් ඔහුට හෝ ඇයට පුදන්න. මන්ද පිදිය යුත්තාට පිදිය යුතු සේම නොපිදිය යුත්තා පුදන්නට නොයෑමත් පිදිය යුත්තාටම ලබා දෙන හැබෑ ගෞරවයක් වන බැවිනි.

No comments: