Sunday, June 16, 2013

කාළගුණය අකාරුණිකයි (අපි)

කළගුණය අකාරුණිකයි කියල, අයහපත් කියල අපි සිංහලෙන් කියන්නෙ පරිසරය අපිට වධ දෙනව කියල හිතෙන තැනකදි. පරිසරය ගැන එහෙම කතා කියනකොට නිකමට වගේ කණපිට චින්තනයකින් හිතෙනව, අපි කොච්චර කාරුණිකද, යහපත්ද කියල. හැමදේකම හොද ගුණය , හොද සුවය වින්දනය කරන්න කැමති අපි කොච්චරක් නම් ඒ හොද ගුණය තව කෙනෙකුට ලබා දෙන්න කැමතිද?

මිනිස්සුත් පරිසරයෙම කොටසක්. සත්වයින් අතරින් පැහැදිලි, ප්‍රබල හානියක් පරිසරයට කරන්නෙ මිනිසා. කෙනෙක් ඒක දියුණුව කියල අර්ථ දක්වන්න පුළුවන්. නමුත් අපි යම් යම් අර්ථ කතන තුළ අකාරුණිකත්වය සාධාරණී කරනය කරන්න හදනකොට ස්වභාව ධර්මයම අපිට පාඩම කියල දෙන්න පටන් ගන්නවා. අකාරුණිකත්වයට ප්‍රතිචාරය ලැබෙන්නෙත් අකාරුණික  විදිහටමයි. ඒ කෙන් මිදෙන්න අපිට හැකිවෙන්නෙ කාරුණික වෙන්න පුළුවන් අපිට නිසාමයි. ක්‍රියාත්මක වෙන්න පුළුවන් අපිට නිසාමයි. 

ගැජට්ටු, විජට්ටු තුළ ගතවෙන ජීවිතයක් හිමි අපි අද ඒ ලෝකයේම සිරවෙනවා නම් පරිසර‍ය අපට වධ දීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි. ආර්ථික කාරණත් මේ දේවල් එක්ක බද්ධ කරගත්තම ස්වභාවික පරිසරය තුළ අපි හදාගන්න පරිසරය තුළ ආපහු ස්වභාවිකත්වය  හැදීමත් ව්‍යාපාරයක්. නමුත් හැම දේකටම වගේ කොතනින් පටන් ගත්තත් හරි තැනට යන අරමුණක් තියෙනවනම් ආර්ථිකය මැද්දෙ හරි පරිසරය රැකේවි, දශම ගණනකින් වත්. අපි හැමදා දියුනු වුනේ පරිසරයේ සම්පත් යම් ලෙසකින් ප්‍රයෝජනයට ගනිමින්ද යම් දිනෙක අපි විනාශ වෙන්නෙත් ඒ ණය ආපහු ගෙවන්න බැරි වීමෙන්ම කියන එක පැහැදිලි සත්‍යක්. නමුත් පොලියට පොලී හැදෙන වැල් පොලී ක්‍රමයට නොයා හැම දෙනෙක්ම හැකි පමණින් තමන්ගෙන් පරිසරයට වන හානිය වළක්වගන්න ක්‍රියා කරනව නම්, අඩු තරමේ නිදහසේ අවසන් හුස්ම අරගෙන මැරෙන්න ඒ අයට අනාගත ලෝකයේ අවස්ථාව ලැබේවි. නැත්නම්... පරිසරය පිළිබද අනාගතය අපේ ඉරණම කොයි ලෙසකින් විසදාවිද? යන්න භයානක හීනයක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ගණන් හදන්නෙ අපේ වයසත් එක්ක ඒ වෙනකොට අපි ඉදීවිද කියල. 

හැබැයි අපි නැති වුනත් එදාටත් හුස්ම හිරවෙන්නෙ මිනිස්සු ඇතුළු අහිංසක සතුන් පිරිසකගෙම තමයි. අඩුම තරමෙ අද ටිකක් හිතුවොත් හෙට වෙන අනතුරේ හානිය වත් අවම කරගන්න අවකාශයක් අපට ඉතිරිවේවි.

එනිසා කාළගුණය අයහපත් හැම විටම අපි තව තවත් යහපත් වීමට සිතමු. ස්වභාව ධර්මය අපට වෙනස් කළ නොහැකි වුනත් අපේ ස්වභාවයන් වෙනස් කරගැනීම තුළ ස්වභාව ධර්මයේ රැකවරණය ලැබීමට අපට හැකි නොවන්නේ නැත. කෙටියෙන් කීවොත් ඔබේ ස්වභාවය කාරුණික නම් ස්වභාව ධර්මය ඔබට අකාලේ අකාරුණික නොවනු ඇත. ස්වභාව ධර්මය  ඔබේ ජීවිතයට වගකීමක් නොදෙතත් ඉන් සැනසීමක් නම් ඔබ වෙත ඉතිරිවනු ඇත්තේමය.

No comments: