Saturday, June 29, 2013

අලුත් ඇහැකින් අලුතෙන් දකිමු ලොව

අලුත් ඇහැක් කියන්නෙ අලුතෙන් කඩෙන් ගෙනත් හයි කරගන්න ඇහැක් නොවෙයි. කබ පිරුණු, කදුළු ගැලූ, ඇහැ සොදා පිරිසිදු කර බැලීමයි. ඇත්තටම එතකොට අලුතින් ඇහැක් ලැබුනා වගේ තමයි. 

ඇහැට කබ එන්න ඕන. කදුළු පිරෙන්න ඕන. නැත්නම් ඒක ඇහැක් වෙන්නෙ නෑ. එහෙම කියල ඇහැට ඇගිල්ලෙන් ඇනල කබ, කදුළු  ගන්න හදන මෝඩ වැඩේකට යන්නත් ඕන නෑ. හැබැයි ඔබට තියෙන්නෙ රබර් ඇහැක් නොවේ නම් අනිවාර්යයෙන් කබ, කදුළු ඔබට හුරුයි.

කබ, කදුළු හැදෙනවා තමයි. ඒත් ඒවා පිරිසිදු කරගෙන ඇලුත් ඇහැක් හැමදාම නඩත්තු කරන එක තම තමන්ගෙ වගකීමක්. මගේ ඇහේ පිරිසිදුකම පැත්තක තියලා අනුන්ගෙ ඇහැට වැටුණු පරාලෙ පොල් කීර අයින් කරන්න මට අමාරුයි. එහෙම දෙයක් කරන්න නම් පළමුවෙන්ම මට හොදට පෙනෙන්න එපැයි. ඒ නිසා පළමුවෙන්ම මගේ ඇහැ ඇහැක් විදිහට වඩා නේත්තර රාජයෙක් විදිහට නඩත්තු කිරීමේ වගකීම මටම බාරයි.

අනික් හැම දෙයක්ම වගේ ගොඩක් වෙලාවට ඇහැ කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ඇහැ ලෙඩ වුනු දාටයි. ඉතින් එදාට අපිට ගොඩක්ම අමාරුයි. අච්චර නිවැරදිව දැක්ක ඇහැ නේද කියල දුක් වෙන වාර අනන්තයි. හිත හදා ගන්නෙ මේ ලෙඩේ මග ඇරිල ආයෙ පේනව කියල අනාගත කාලෙන් හිතල. 

ඉතින් මේ ඇහැ ඇරගෙන හොද නඩත්තුවකින් අලුත් කරගෙන අලුතෙන් ලෝකය බලන්න හැමදාම පුලුවන් නම්, ඇහැට කොතරම් දේ අහුවෙනවද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි. හරියටම බලන්න පුරුදු වුනොත් ඇහැට අහු නොවෙන්නෙ මොනවද කියලත් ආපහු හිතන්න වෙයි. එච්චරකට වටින ඇහැ, හැබැයි මතක තියා ගන්න ඇහෙන් කොච්චර දේවල් බැලුවත් ඒව තේරුම් කරල දෙන්නෙ මොළේ බව. ඒ නිසා ඇහැ හොදට තියාගෙන මොළේ කුණු බැදෙන්න ඉඩ අරින්න හිතන්න එපා. එතකොට ඇහැ අලුත් වුනත් පරණ මොලේ ඔබට වැරදි පාරක අරන් යන්න පුළුවන්. අන්තිමට ඔබ හදිසි අනතුරකින් දැඩි සත්කාර ඒකකයේ ඉදීවි.

ඒ නිසා අලුත් ඇහැන් ලොව දකින්න. මොලේ ශුද්ධ කරගන්න නිතරම දිනපතා පාරෙ තොටේ රස්තියාදුවෙදි වදින දූවිල්ලෙන්. ඒ දූවිල්ල ශුද්ධ නොවී ඉස්මොළේ ගියොත් වැඩේ බරපතළම වේවි.

ඒ නිසා ටිකෙන් ටික හරි, ඇහේ, මොළේ වැදුනු දූවිලි ඉවත් කර ගන්න. අලුතෙන් ලොව පෙනෙනවා සත්තයි. එතකොට හිත... අනිවාර්යයෙන් ඒකත් අලුත් අලුත් දේ හිතන්න ගනී සහතිකවම එතකොට.

No comments: