Monday, July 1, 2013

මං මරා

මං මරා දැමීම යනු සියදිවි නසාගැනීමක් ගැන කියන කතාවක් නොවේ. සියදිවි නොනසා ගෙන පහසුවෙන් දිවි ගෙවිය හැකි මගක් ගැන කියන කතාවකි. 

මැරෙන්නට සිතෙන්නේ මං ගැන මහ ලොකුවට සිතා ගැනීම හෝ සිතාගන්නටම දෙයක් නොමැති වූ නිසා ඇතිවන අපහසුතාවය දරාගන්නට නොහැකි වූ විටයි. එනිසා මං මරාගෙන ම හිටියා නම් ආපසු මං ගැන ලොකුවට හෝ කුඩාවට හිතන්නට දේවල් ඇති වන්නේ නම් ඉතාම අවම වශයෙන් නිසා ශරීරය මරා ගන්නට නොහිතේවි. එනම් එම හැගීම තමන්ගේ ඔරොත්තු දීමේ ධාරිතාවය තුළ යටපත් කර දැමීමට නොහැකි නොවනු ඇත යන්නයි. 

‍කුමක් ද මේ මං මරා ගැනීමේ කතාව?

මිහි මත හැම මිනිසෙක්ම මම යනුවෙන් ගොඩනගාගන්නා සංකල්පයක් ඇත. ගොඩනංවා ගත්තේ නැතත් එබදු සංකල්පයක් නොදැනීම ගොඩ නැංවීම ස්වභාවයයි. ඉදින් මේ සංකල්පය ඔස්සේ කුඩා කළ පටන් අප සිතිවිලි මෙහෙය වෙන්නේ සියල්ල මම වටා කේන්ද්‍රගත වන්නේ යැයි යන පදනමින්ය. කුඩා කල අප හැම දෙයක් ගැනම මනස්තාප වන්නේ එබදු සිතිවිල්ලෙනි.  ඉර, හද, දෙමාපියෝ, ඥාතියෝ අපට අවැසියැයි දැනෙන හැම දේ, අප බලාපොරොත්තු වන හැම දේ අපට ලැබිය යුතුයැයි හිතන්නේ මේ නිසාය. අපට හැගෙන සියලු දේ එලෙසින් සිදු නොවන බවත් සියල්ල අප වටා කේන්ද්‍ර ගත නොවන බවත් අප වටහා ගන්නේ වැඩිවයස් වන විට බොහෝ සෙමිනි. කෙසේ නමුත් අඩු වැඩි වශයෙන් වැඩිහිටි වියේදීද අප වටා සියල්ල කේන්ද්‍රගත වන්නේ නම් අපි ඊට බෙහෙවින් කැමැත්තෙමු. ඒකාධිපතියෝ ලෙස සමහරු බලෙන් බලයෙන් තමන්වටා සියල්ල කේන්ද්‍ර කර ගන්නට හදන්නේ මේ සිතිවිල්ලේ දැඩි බව මැඩ ගත නොහැකි කමෙනි. එහෙත් එවැනි ඒකාධිපති කම් පවා හැමදා නොපවතින්නේ ස්වභාවධර්මයත් සමග එහි ඇති  පටහැකි කම නිසාමය. නමුත් නොයෙක් මිනිසුන් වටා තවත් පිරිස් කේන්ද්‍ර ගත වීමේ ස්වභාවය එදා මෙදා කවදත් පවතින්නේය.‍ විවිධ හේතු කරණා පදනම් කොට ගෙන එය සිදුවන්නේය. මා කියන්නට යන්නේ විවිධ අරමුණු තුළ තමා වටා අන්‍යන් කේන්ද්‍ර කර ගන්නට හිතාගෙන වැඩ කටයුතු කරන මිනිහා අවසන පත්වන දුක අත් නොමකර ගන්නට නම් දත යුතු මං මරා ගැනීමේ ඒ කතාවයි.

මං, හැමදාම ලෝකය දකින්නෙ මගේ ඇස්‍ දෙකෙන් වුනත් මට හැමදාම පෙනෙන්නෙ අනුන් මිස මාව නොවෙයි. කණ්නාඩිය ඉස්සරහට ගිහින් මගේ මුණ බලල  කොන්ඩෙයි ඇදුමයි හදාගත්තට ඊට පස්සෙ එදිනෙදා වැඩකටයුතු අස්සෙ කොයිම වෙලාවකවත් මට මාව පෙනෙනවද? අනුන් දිහා බලාගෙන අනුන්ගෙ ප්‍රශ්න ගැටළු පෙනි පෙනී අතරමැද කල්පනාවක හිටපු ගමන් මං ගැනත් අමුතුවෙන් හිතෙනවද? නැත්නම් මගේ ප්‍රශ්නම හිතේ වැඩකරන හින්ද වටේ පිටේ සිද්ද වෙන කිසි දෙයක් ගැන හැගීමක් නැතිද? කොහොම වුනත් මට මං කියන සංකල්‍පයෙන් තොරව මිනිහා යි කියන හැගීමෙන් හැම සමාජ ප්‍රශ්නයක් දිහාම බලන්න හැකියාවක් නැතිද? උගත්කම හෝ නූගත්කම එයට හේතුවද? නැත්නම් බුද්ධිමත් නොවීමද එකම හේතුව?

මං මිනිසෙක් නම් අනිත් අයත් මිනිස්සු නම්, රට, ආගම, ජාති, කුල, වර්ණ බේද වලින් තොරව අපි මුහුණ දෙන්නෙ එකම ප්‍රශ්න ටිකකට නේද කියන එක හිතන්න කොයි තරම් අමාරුද? නැතිනම් ලේසිද? දේශගුණික වෙනස්කම් භූගෝලීය වෙනස්කම් ආදී වශයෙන් තියෙන දේ නොවෙයි මෙතනදි මං කියන්නේ, මිනිස්සු හැටියට සතුට, දුක ආදී ව‍ශයෙන් හැගීම් දැනීම් තුළ එකම දේවල් නොවෙයිද අපි විවිධ තරාතිරම් වල ඉදන් වුනත් විදගන්නේ, විදවන්නේ. එහෙනම් මං , මම, කියන හැම තැනකම අපි හිරවෙන්නෙ අන්‍යන් වගේම මමත් තවත් මිනිහෙක් කියන එක හිතාගන්න බැරි නිසාද? ඒක ගැඹුරින් තේරුම් ගන්න හිතන්නෙ නැති නිසාද? මට කියල විශේෂයක් ලෝකෙ තියෙන්න පුළුවන්ද? ඉපදෙන සියලු දෙනා මියයනවනම් මට කියල ලෝකයේ අමරණීය තැනක් තියෙනවද? මට විතරක් වෙන්වුනු සදාකාලික නිරයක් තියෙනවද? 
එහෙම නැතිනම්, මමත් සාමාන්‍ය මිනිහෙක්. අනෙක් අයත් එහෙමයි. 
හැබැයි, මිනිස්සු අතරෙත් පුරුදු පුහුණු කරගත්තු ගුණ ධර්ම තුළින් මේ සාමාන්‍ය මිනිස් ස්වභාවයෙන් ඉහළට දියුණු වුනු මිනිස්සු ඉන්නවා. ඒ වගේම තියෙන ගුණ ධර්ම නසා ගෙන විනාශ වුන අයත් ඉන්නවා. මුහුණු දකිනකොට නැතත් ඒ අය සමාජයේ ක්‍රියාත්මක වෙනකොට අපට ඒ බව තේරුම් යනවා. ඉතිං මං ඒ දෙකොටස අතරින් කොයි කොටසට යනවද කියන එක මට මිනිහෙක් හැටියට හිතල තීරණය කරන්න පුළුවන්. ඒක මගේ අයිතියක්. හැබැයි, යහපතට බර වුනොත් යහපතම සැළසෙන බවත් අයහපතට බරවුනොත් සැළසෙන්නෙ අයහපතම බවත් දිගු කාලීනව දකින පෙනෙන දේ හොදින් නිරික්සුවොත් කාටත් බලාගන්නත් පුළුවන්. ඒ නිසා මට විතරක් වෙනවාය කියල හිතෙන දේවල් නෑ. 
ඒ ‍දේවල් කවදත් කාටත් වෙන්න පුළුවන් දේවල්.   
මං ඇතුළෙ ඉන්න මං මරා ගත්තම මේ හැම දෙයක්ම පොදුවේ කොයි මිනිහාටත් ඇතිවන ප්‍රශ්න කියන එකත් කිසිම මිනිසෙක් වටා ලෝකයක් කේන්ද්‍ර ගත නොවන ‍බවත් තේරේවි. අද අපට තියෙන ප්‍රශ්නය තවත් දවසක තවත් කෙනෙකුට එන්න පුළුවන්. ඉතිහාසයේ කී දෙනෙකුට එහෙම ප්‍රශ්න තිබුනද? අපි හොයල බැලුවද? ඒ නිසා පුංචි දේ වල් වලට මගේ ශරීරය මරා දා ගන්න දගලන්නෙ නැතිව, මං ඇතුළෙ ඉන්න මහා සුවිශේෂයි හෝ මහා  පාපකාරීයි, කියල හිතෙන මං මරා ගත්තොත් ඇත්තටම මිනිහෙක් හැටියට මම ක්‍රියාත්මක වෙන්න ගනීවි. හිතා ගෙන ඉන්නවට වඩා මගේ ඇත්තම ඇත්ත විදිහ එළියට ඒවි. ඒ ඇත්තම ඇත්ත විදිහෙන් මට කරන්න වෙනස්ම දෙයක් තියේවි. හැබැයි ඒ වෙනස් දේත් වෙනස් කමක් මිස අලුත්ම දෙයක් නොවේවි. හැම දාම අපි කාටත් කරන්න තියෙන්නෙ ඉතිහාසයේ සිද්ද වුනු දේවල් වර්තමානයේ සිද්ද වෙන දේවල් අනාගතයේ සිද්ද වෙන දේවල් තවත් ක්‍රමයකට කිරීමක් පමණයි. 

එකයි + එකයි එකතු කරාම දෙකයි, කියල කියන්නේ මං විතරක් නොවෙයි. ඒක ගණිතයේ එක්තරා ක්‍රමයක් තුළ අපි කව්රුත් තේරුම් ගන්න දෙයක්.

ඒ වගේම අපි කියන්නෙත් මම සහ තවත් මම කෙනෙක් එකතු වීම නිසා ඇතිවන යුගලයක්. ඒක ඔබයි මමයි වෙන්නත් පුළුවන්, ඇයයි ඔහුයි වෙන්නත් පුළුවන්. 

ඒ නිසා මං ඇතුළෙ තවත් මං කෙනෙක් තියා ගන්න එපා. මේ මම නම් එපමණයි. එතකොට   නමයි සුරතල් නමයි දෙකක් වුනත් දෙබිඩි ජීවිත නොතියේවි අපි කාටවත්. හිතන දේත් කියන දේත් කරන දේත් එකම ආකාරයකට ගලපගන්න පුළුවන් නම් මං හිතන්නෙ අපි හරි. ඒ හිතන දේ යහපත ඔස්සේ නම් මං හිතන්නෙ අපි දිනුම්. 

ඒ නිසා දෙපාරක් නොහිතා බොරු මං මරා,  ඇත්ත මාව බේරා ගන්න.  මන්ද, සත්‍ය යනු හිතලුවක් නොව පවතින්නක් වන නිසා. හීන ලෝකයෙන් මිදී හැබෑ පොළොවේ ඇත්ත මම හොයාගන්න. 

අමාරුයිවෙයි? ඒත් මිනිහා හම්බුනොත් ඔබට සතුටු හිතෙයි, ඔහුව හෝ ඇයව හරි මගට දක්කාගෙන ගියොත්, දිනුම ඔබ අතෙයි.

(පරිපූර්ණ දේවල් ලෝකයේ තියෙනවද කිය කියා ගොන් ප්‍රශ්න අහනවට වඩා සීයක් ලකුණු තියෙන තැන සීයක් ලකුණු වෙනුවෙන් ගන්නා උත්සාහය නිර්භීත මිනිස් ක්‍රියාවක්. ලැබෙන්නෙ ලකුණු හැත්තැ නවයක් වෙන්න පුළුවන්. ඒත්, ලකුණු සීයක්  ගැන හිතන්න පුළුවනුත් මිහිහෙකුට විතරයි. ලකුණු සීයක් ගන්නවානම් ඒදේ කරන්න පුළුවනුත් මිනිහෙකුට විතරමයි.)

No comments: