Thursday, July 11, 2013

රස්තියාදුව, මරණය , ජීවිතය , රමණය + මිනිහෙක්

මිනිහෙක් හැටියට ලෝකෙට ඉපදිලා දැනෙන සියුම් ම හැගීම ඔස්සේ හිතන අයට විතරයි මේ කියවීම වැදගත් වෙන්නේ. අනෙක් අයට පුළුවන් අහක බලන් හැරිලා ගිහින් මූණ මාර්ග සංඥා පුවරුවේ හප්ප ගන්න, වැඩි දෙනා ඒ මෝස්තරේ ඉන්න ලෝකෙක එහෙම නොවෙන අඩු පිරිසක් වුනත් ඉන්නව නම් ඒ සියුම් හැගීම ඔස්සේ ජීවිතය හොයන අයටයි මේ, මේ අඩ අභූත රචනාව ඒ වෙනුවෙන්.

කුණුවෙන ගදගහන ලෝකයක ඉදන් නහය නෑ වගේ ජීවත් වෙන්න බෑ. ඒක අමුතුවෙන් කියන්න ඕනෙ දෙයක් නෙවෙයි. කුණුගදෙන් උපන් නහයකට තරම් සැබෑ මන මෝහනීය සුවද මොකක්ද කියල ඇති වන දැනීම තවත් කෙනෙකුට නොතේරෙන තරම්. මට මතක් වෙන්නෙ  ප ෆියුම් චිත්‍රපටය..

නමුත් කුණු ගදට යටවෙලා වත් මනමෝහනීය සුවදට දැහැන් ගත වෙලාවත් ජීවිතය දුවවන්න බෑ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙකම විදින්න හෝ විදවන්න අපට සිද්ධ වෙනව. ඒක සම්පූර්ණ වශයෙන් භෞතිකව වෙනස් කරන්න පුළුවන් කියල කෙනෙක් හිතනවනම් හෝ කියනවනම්, ඒක හුදු විහිළුවක් පමණයි  ඇති ගැඹුර නොදකින.

ඒක පැත්තකට කරලා අපි හිතුවොත්, මේ කුණු වෙන ගදගහන ලෝකයේ  ඒ තුළින්ම උපන් මායාකාරී සුගන්ධයත් එකම නහයකට දරාගන්න පුළුවන් විදිහ- ජීවිතය තියෙන්නෙ අන්න එතැනයි.

පට්ට රස්තියාදුවෙක් වෙලා ජීවිතය හොය හොයා ඇවිදල තරුණ ජීවිතයම ගෙවිල යද්දි එතැන සදාකාලික විකල්පයක් නෑ කියල වැටහෙනව. තරුණකම ගතවෙලා යන නිසාම නොවෙයි, හැමදාම වෙනස් විදිහට දැනුනත් තිබෙන්නෙ එකම දේ කියල ගැඹුරටම දැනුනාම. 

රස්තියාදුව යනු කාලකණ්නි ලෝකෙක ජීවිතෙන් ඒ කාලකණ්නි කමට වන්දි ගෙවීමක්ද?  ජීවිතය හොයමින් සිද්ද කරන රස්තියාදුව එක තැනකින් හැරෙන්න ගන්නව. මග තොටේ, වට පිටේ , ලෝකෙ වටේ දකින්න තියෙන එකම කාලකණ්ණි කම් රොද බැදගෙන ඔලුව වටේ , මනස පුරා හොල්මන් කරන්නෙ හිත හොදට වැඩ කරන සංවේදී මානුෂිකත්වයත් එක්කයි. නමුත් විකල්පයක් නෑ, රස්තියාදුකමින් ඒ පව ගෙවන්නට හිතීම තවත් එක් අන්තගාමිත්වයක් විතරයි. දුක මත ඇලීමෙන්ම දුක සැපක් කර ගත්තත් හැබෑ සතුට එතැන නෑ. පට්ට රස්තියාදුවෙක් වී අන්තයේ මරණය බලා ජීවත් වීම හිස් ඵලයක්, පුහු ගෙඩියක් විතරයි. ඒක අලුත් මෝස්තර හොයන ලෝකෙට තවත් එක මෝස්තරයක් කරන්නත් පුළුවන්. ඒත් මදය පමණයි බීජයක් නැති. එතකොට හෙට වෙනුවෙන් ඵල දරන්නෙ මොනවද? හෙවූ දෙය එතැන නෑ. සරලව සමීකරණය විසදෙන්නෙ උත්තරය බිංදුවක් හැටියට...

කුණුගද මැද විලවුන් තවරගත්තු ලේන්සුවකින් නහය තෙමා ගෙන ලෝකයම හරි සුන්දරයි කියනවනම් ඒ සර්වසුබ වාදයක් නොවේ. මහා කෙබරවාදයක් වෙනවා නිසැකයි. සර්ව සුබ අසුබ පසෙක තියද්දී එකම නහයෙන් සිද්ද වෙනවා දෙකම විදදරාගන්න. ගද වගේම සුවදත්. ලෝකෙ තියෙන්නෙ ගද විතරක් කිව්වොත්, ඒත් ඒක කියන්න බෑ සුවද  ගදේම පරස්පරය නිසා. එහෙනම් ගද වගේම සුවදත් අපිට පිළිගන්නම වෙනව. ඔබ ගදට කැමති වෙන්න පුළුවන්, මම සුවදට කැමති වෙන්න පුළුවන්, නමුත් මේ දෙකම අපි දෙන්නටම විදගන්න වෙනව අපේ එක බැගින් ඇති තනි නහයෙන්. 

ඒ නිසා,

අතුරේ යන මිනිහාගේ තියෙන අවධානම වගේම ත්‍රාසය මුසු අභියෝගාත්මක පියවරත් ජීවිතයට අවශ්‍යයයි, මරණයට පෙර රමණය මහගු අත්විදීමක් තමයි. ඒත් රමණය හෝ මරණය ජීවිතයේ එකම දෙය නොවේ. 

එතකොට රස්තියාදුව? සදාකාලික නැති ජීවිතයේ සදාසරණක් නොවේමැයි. රස්තියාදු විය යුතුමයි, අද රස්තියාදු නොවී ඔබේ මගේ දෙපය ගැටෙන මහපොළොවේ සත්‍ය දකින්නට නම් වෙන මගක් තිබෙනවාද? හිතේ ගතේ, තැන නොතැන අරමුණක හද වෙලා ගහන රස්තියාදුව ඒක. එහෙත් රස්තියාදුවත් සත්‍ය සොයා යෑමට මග මිස ජීවිතයට මග නොවේ. සුවද සොයා යාමට පදනම කුණු ගද, නමුත් කුණු ගද නිසා උපදින මන මෝහනීය සුවද ඒ ගද නොවේ. ගදෙන් තොරව සුවද මන මෝහනීයද නොවේ.

දැන් ඔබ තෝරා ගත යුත්තේ කුමක්ද?  

පංචස්කන්ධය අසීමිතව තෘප්ත කරමින් තෘප්තියේ සරණ හොයනවාද? ඒ පංචස්කන්ධය බැදීම් වල හිර කර දුක සතුටක් කර ගන්නවාද? ජීවිතය සමග රමණය පමණක්ද? නැත්නම් රස්තියාදුව හා රමණය පමණක්ද? නැත්නම් මරණය පමණද? රමණය පමණද? රස්තියාදුව පමණද? දණ නමා හෝ නොනමා ජීවිතය ඇයදීම පමණද? විලවුන් තැවරූ ලේන්සුවෙන් නාසය තෙමා ගන්නවාද?

එහෙත් මේ කුමන ක්‍රමයේ ජීවිතය සමගත් මරණය ලුහුබදින්නේය. 

එනතෙක් මරණය අපි ජීවත්විය යුතුය එය නොබලා. නමුත් නොසිතා නොව,

එකම නැහෙයෙන් ගද සුවද ඉවසා මේ සියල්ල හා බැදි ජීවිතය තෝරා ගෙන ධනාත්මක සෘණාත්මක අරෝපණ අතරමැද, මන්දන ත්වරණ අතරමැදි තැනක ශුද්ධ කොට ගත් රස්තියාදු ඥානයක මග මා සොයන්නේ එතැනය. ඒ මගේ විකල්පයයි..

මගේ ජීවිතයේ අවසන් වගකීම අනේක වූ වාද මත නොපරවා, මගේ වගකීම මම දරන්නා වූ මිනිහෙක්, සහෝදර ජනතාව හා සමගිව මෙන්ම අයුක්තියේදී හුදෙකලා වුව නිවැරදි මග ඉන්නා මිනිහෙක්, එවන් වූ සරල වූ ‘මිනිහෙක්. තුන් කාලයේම පොළවේ පය ගැසූ හැබෑ මිනිහෙක් ලෙස මම දකිමි. 

No comments: