Wednesday, July 3, 2013

තලු මරා

තමන් කන්නේ මොනවාදැයි හේතුප්‍රත්‍යන් සහිතව දැනගෙනම හොදට තලු මර මරා කන්නට රුසියෝ නම් මිනිස්සුමය. නමුත් එවැනි විටක උපහාස අපහාස තකා ඌරෝ ගැනද සමහරු සිහි කරති. නමුත් ඌරාට හේතුකාරණාව බඩගින්න පමණය. ඌට කනදේ ගැන විග්‍රයක් උවමනා ද නැත.

කෑමේදී මෙන්ම තවත් සතුන් කෙරෙහි විෂය නොවන්නා වූ දෙයකදී ත් බඩේ ගින්නක්  නොමැතිවම මිනිස්සු බොහෝ සෙයින් තලු මරති. සමහර විට වමාරා ද කති. සමහර විට එතැනදී බඩේ නැතත් හිතේ ගින්නක් නම් තිබෙන්නට පුළුවන.

යුක්තිය, සාධාරණය, අවංකත්වය, නීතිය, සමානාත්මතාව ආදිය මෙසේ තලු මරන දේවල් අතරින් මෑතදී විශේෂයෙන් අහාරයට ගත් බව දැනුනු දේවල්ය. එක අතකින් මෑතදී නොව හැමදාම අප මෙහේ මේවා තලු මරුවා ම පමණය. රහ අඩු නැති නිසා තවත් තලු මරන්නෙමු. නමුත් අහරක් බඩට වැටීමෙන් තොරව ජීර්ණය නොවන නිසා තවමත් මේ කතාකරන දේවල් උදෙසා තනිව ක්‍රියාත්මක වීමට තරම් ශක්තියක් අපට නැත.

මිනිසා ''මම'' යනුවෙන් ගොඩනගා ගන්නා සංකල්පයට වඩා, මිනිසෙක් ලෙසින් වැටහෙන දකින සළකන ගුණාංග අතර ඉහළින්ම තිබෙන්නේ මේ යුක්තිය, සාධාරණය, අවංකත්වය, නීතිය, සමානාත්ම තාව ආදී දේවල්ය. තවත් දේවල් තිබෙන මුත් පොදුවේ 'මිනිසා' යන හැගීමත් සමග මිනිසා යන සත්වයා‍ගේ සු‍විශේෂීත්වය මතුවන්නේ ඉහත කරුණු පදනමේ බිහිවන සමාජ සත්වයෙක් වශයෙනි. 

ඉදින් මෙබදු වූ ඉහළ දැනීම් සංවේදීතාවන් හිමි අප මේ සියල්ල තලු මරමින් හිදින්නේ ඇයි? විශේෂයෙන් තමන්ට අයුක්තියක් වූ විට යුක්තිය ගැන කතාකිරීම, තමන්ට අසාධාරණයක් වූ විට සාධාරණය ගැන කතාකිරීම, තමාට වංක කමක් සිදුවූ විට අවංක කම ගැන කතා කිරීම ආදී වශයෙන් තමන්ට සිදුවන තෙක්ම මේ මානව ගුණ ධර්ම ගැන තමන්ට නොදැනෙන්නේ නොහැගෙන්නේ ඇයි? නමුත් දිනපතා පැයෙන් පැය පුවත් වල සිට අප තලු මරන්නේ අනුන්ට වුනු අයුක්ති, අසාධාරණ, වංක, අවනීති ගැනය.  ඉතින් ‍එහෙනම් මේ රසය හොයා තලු මරමන් හිදින දේ අපට ජීර්ණය කරගන්නට හැකිවන්නේ කවදාද? 

එය අප අපම පටන් ගත යුතු දෙයකි. මිනිසෙකු හැටියට 'මම' ලෙසින් අයුක්තියකට පත්වන තැන වන තුරු නොසිට මගෙන් එදිනෙදා දිවියේ අනෙකා වෙනුවෙන් යුක්තිය ඉටුකරන්නට මට නොහැකිද, සාධාරණය ඉ‍ටු කරන්නට මට නොහැකිද, අවංක වන්නට නොහැකිද? ගැටලුව එසේ නොසි‍තීමද? මිනිසාගේ සුවිශේෂීත්වය නම් එසේ නොසිතෙන දේ සිතීමට ඇති හැකියාවයි. මිනිස් සමාජයේ යහපත තකා  තලුමරමින් රස කරමින් හිදින දේ බඩට දමා ජීර්ණය කරගන්නට අපට හැකියාව තිබිය යුතුය. 
යුක්තිය, සාධාරණය, අවංකත්වය, නීතිය, සමානාත්මතාවය ආදිය තලු ගැසීමට නොව සමාජයට ප්‍රථිඵල දායී ගුණාංග ලෙස අප තුළින් වගා වී ලැබෙන අස්වැන්නක් විය යුතුය. 

කොතරම් රස ගුණ තිබුණත් ඔය දේවල්  කල්පයක් තිස්සේ තලු ගස ගසා රසකලත් ප්‍රතිඵලයක් නැති හපයක් බවට පමණක් පත්වනු ඇත්තේ කටින් බඩට වැටී ජීර්ණය වීමට අවස්ථාවක් නොලැබෙන කලටය. එබැවින්  දැනෙන, හැගෙන, හැමතැනදීම නැණවත්ව, බුද්ධිමත්ම, ඉවසීමෙන් යහගුණය සදහා ශක්තිමත්ම ඉදිරියට එන්න. 

මෙය වෙළද දැන්වීමක් නොවන බව ටද කරුණාවෙන් සළකන්න. 

No comments: