Friday, July 5, 2013

පුත්තු

මේ අපේ රටයි, අපි ඉපදෙන මැරෙන, නැත්නම් මැ‍රෙන්නට කැමති රටයි. ඔබට සේම මටද ඒ අයිතිය ඇත. ඔබ මෙන්ම මමද මේ රටේ පුතුන්ය. එකහෙලා එසේ කීමට මා මෙන්ම ඔබද කැමතියැයි මම නැවත සිතමි. මා නිවැරදියි නේද?

එතකොට කව්ද මේ ලොකු ලොකු හයිකාර, බලපුළුවන්කාරයි කියල හිතන වෙනම වරප්පරසාද ඇතැයි කියන අමුතු පුත්තු, ඔවුන් මේ රටට වෙනම තැනකින් ගොඩබස්සවපු ජාතියක්ද? ඒ බලපුළුවන්කාර කම් ජන්මයෙන්ම ලැබුණු දායදද?

මීළග සියවසේ හිවලුන් නොවීමට නම් අපේ පරම්පරාවට පෙර පරම්පරාවෙන් ලැබුණු ජන්ම දේශපාලන ධාරා මතවාදයෙන් අද පටන්වත් අප ඉවත් විය යුතුමය. පියාගෙන් පුතාට වශයෙන් කෙනෙක් දේශපාලනයට පිවිසීමේ අයිතිය ගැන අපට ගැටලු නැත. එසේ දායද නොවී අලුතෙන් දේශපාලනයට පිවිසෙන්නන් ගැනද අපට ගැටලු නැත. එහෙත් හයිකාරකම අපට ගැටලුවකි. ඒ හමුවේ නිවට දණින් යෑම ඊලග පරපුරටත් දායද වේ නම් එය අපට ගැටලුවකි. 
ධනවාදය වේවා, සමාජ වාදය වේවා වෙනත් කවර වාදයක් වේවා, තවත් කෙනෙකු මත බලහත්කාරකම හෝ හයිකාරකම මුදා හැරීමට ඒ පුත්තුත් අපත් අතර කවර වෙනසක්වත් නැත. ඒ හයිකාරකම් හමුවේ තවදුරටත් අප පරපුර දණ ගසන්නට සූදානම්ද නැත. එසේ විය යුතුය. ඒ සදහා කාලයයි මේ එළඹෙන්නේ.
රටටත් අනෙක් සමාජයටත් වැරදි පූර්ව ආදර්ශ සැපයූ කතන්දර පටන් ගන්නේ අද ඊයේ නොවේ. එහිදී මේ අමුතු පුත්තු විශේෂය. දෙමාපියන් ගේ බලයෙන් තමන්ටද අමුතු ගතියක් ඇගට ගත් ඔවුන් ඒ ගොන්ගාය හතර අතේ ප්දර්ශනය කොට අං පටලවා ගත් වාර එක දෙක බැගින්ද නොවේ. සමහරු නීතියටත් ජෝක් දැමූ අන්දම අපි සෝදුකින් බලා සිටියේ අනේ අපේ අනාගත නංගිලා මල්ලිලාට යන කල යන්න සිතමිනි. දැන් ඒ සිතිවිල්ල බලයක් කර ගන්නට කාලයයි. තම තමන් එක එකා හැටියට මේ ගොබ්බ නිවට චින්තන වලින් නැගී දෙපයින් සිට ගන්නට කාළයයි. 
එනිසා කලිසමේ මුත්තරා කර ගන්න බිය දැන්වත් පහ කර ගන්න. මිනිසෙකු මැරෙන්නේ එක් වරකි. ඒ මරණය මිනිසෙකු ලෙසින්ම බාරගන්න. දණින් ඇවිදින මිනිහෙකු වෙන්න එපා, බලෙන් මැරෙන්න හදන්නත් එපා. 
භයට පයින් ගහන්න, කෙළින් හිටගෙන කෙළින් කතාකරන්න හයියක් හදා ගන්න හරි දේ අනුගමනය කරන්න. හරි විදිහට හිටගන්න හරි තැනින්. එදාට ඔය නිවට නියාලු හයිකාරයෝ දුවාවි කැලෑ කඩාගෙන. ඒ ජනතා හයිය අදුනගන්න, බඩ රස්සාව වෙනුවෙන් නිවට වෙලා දණින් යෑම දැන්වත් නවත්වන්න. මේ සමාජ හෝ වෙනත් වාදෙකට කතා කිරීමක් නොවෙයි. මිනිස්සු හැටියට රටක තරුණයෝ තරුණියෝ හා මහජනයා හැටියට කෙළින් කටින් ඉදීමක් ගැන කියන කතාවක්,
ලස්සන හොද රටක හීනයට නිකම්ම තිතක් වැටෙන්න දෙන්න බෑ, කාගෙ ආශ්චර්ය නැතත් ජනතාවට පුළුවන් ආශ්චර්යයක් කරන්න, හැබැයි ඒ කාටවත් කඩේ ගිහින් නෙවෙයි, හරි දේත් එක්ක ශක්තිමත්ව ඉදිරියට පියවර තබන්න පටන් ගැනීමෙන්.

කවදා හරි කොතැනින් හරි අපේ රටේ ඉතිහාසයේ සමහර තැනක වුනා වගේ හොද පිබිදීමක් ආපහු ඇතිවෙන්න අපි අදත් ප්රාර්ථනා කරමු. ඒක දේශපාලනික හීනයක් කර ගන්න දෙන්න එපා. එතැන බලා ඒ එල්ලයේ පිය නගමු. එතකොට මේක අපේම රට තමයි. 

රටට පුතෙක් වෙන්න හිතට ගන්න. ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ, ඒ අවසරය අපට ලැබුනේ මෙහේ ඉපදීමත් එක්කම තමයි. ඒ දේශපාලනේට පාටක් පක්ෂයක් නෑ, ඒක දැන්වත් තේරුම් ගත්තොත් අපේ දිනුම වැඩි ඈතක නොවේවි හැබහින්ම.

No comments: