Saturday, July 20, 2013

මගේ සාපේක්ෂතා වාදය, සාධාරනීකරණ වාදය හා සත්‍ය

ලෝකයේ හැම මිනුමක්ම යමකට සාපේක්ෂය. අප හැම දෙයකම රස ගුණ හොයන්නේත් දකින්නේත් සාපේක්ෂවය. ලස්සන අවලස්සන සියල්ල සාපේක්ෂය. දුප්පතා හා පොහොසතාද සාපේක්ෂය. එතැනින් පසු මේ සියලු සාපේක්ෂ දේ අපේ කැමති අකමැති බව සමග ගලපා සාරනීකරණ වාදය හා අමුණන්නේය. ධනවාදය වේවා, සමාජ වාදය වේවා නාස්තිකවාදය වේවා පශ්චාත් නූතන වාදය වේවා අපේ මතය අපි සාධරනීකරණය කරන්නෙමු. එයට අවශ්‍ය තරම් කරුණු තිබේ. නැත්නම් කරුනු සොයා ගැනීමට ඕනෑ තරම් මුලාශ්‍ර තිබේ. 

එහෙත්,

මේ සියල්ල පිහිටන සත්‍ය පදනම සාපේක්ෂ එකක්ද, එය සත්‍ය නැමැති පක්ෂයේ සිට සාධාරණීකරනය කළ යුත්තක්ද, සත්‍ය හමුවේ අපගේ සියලු මතවාද ධූරීභූත වී එක් නිරපේක්ෂතාවයකට පැමිණෙනවාද?

මල් වත්තකට ගොස් එක එක මල පෙන්නා ලස්සන ගැන කතා කිරීමත් ඒවා ගැන පාරම් බෑමත් අපේ සාපේක්ෂතා වාද හා සාධාරනීකරණ වාදත් දෙකම එකක්ය. ඒ මල් වැවූ වත්තක් බව තේරුම් ගැනීම සත්‍යය වටහා ගැනීමකි. වැවූ මල් මෙන්ම වැවුනු මල්ද එහි ඇත. එතැනින් එහාට විස්තරය සාපේක්ෂතා වාදයකි. සාධාරනීකරණ වාදයකි. 

ඉමක් කොනක් නොදකින විශ්වයේ දෙපා බිම ගසන ඉඩකින් පොළව මත නැගී හිදින අප සත්‍ය හා බොහෝ දුරද? නැත. සත්‍ය අපේ දෙපා මුලය. එහෙත් අපේ සාපේක්ෂතා වාද හා සාධාරනීකරණ වාද තුළ දෙපා අබියස වැතිරෙන සත්‍ය අපට නොපෙනෙන්නේය. ඒ හැටියකි.

මිනිහාගේ පැවැත්ම මේ වාද තුළය. නැවැත්මේ වාද නැත. පැවැත්මත් නැවැත්මත් යම් ලෙසකින් වටහා ගත් විට වාද වලට ගැති වන්නේද නැත. එතැන සැනසුමක් ඇත. වාද වලට නම් කරුණු කොපමණද? එහෙයින්ම කරුණු දන්නාට වාද වලට පැටලීම යනු රසදිව අවුස්සා ගැනීමක් බදුය. 

එහෙත් ඒ රසය දැනගෙන ඒ රසයට ගිජු නොවී සත්‍ය වටහා ගන්නාට වේදනාවක් හෝ පීඩාවක් නොවන්නේය. රස හොය හොයා ලුහුබැදීමක් නොවන්නේය. එතැන සැහැල්ලුව වන්නේය.

එනිසා නොයෙකුත් වාද මෙන්ම බේද ත් සත්‍ය ලෙසින් සාධාරණීකරනය කරන්නට තනන තතනන ලෝකයේ එහෙව් දේ වලට වහලෙක් නොවී නිවහල් චින්තනයක් වැඩීම කෙතරම් නම් නිවීමක්ද? එය හිතේ හැබෑ සැනසීමක්ම වනු ඇත. 

එතැනට වෙහෙසෙමු, පරම නොවූවත් ශුද්ධ වූ සිතිවිලි, ශුද්ධ වූ ඥානයෙන් සැනසීමක් සොයන්නන්ටයි මේ ආරාධනා....

No comments: