Sunday, July 28, 2013

කනේ මයිල්.. නෑ..නෑ.. කනේ කඩුක්කන්...නෑ ඕයි, කනේ සංගීතෙ - ඔත්පොළ වූ මිනිස්සු

කොපමණ කීවත්, කොපමණ ඇසුවත්, ඇසූ දේ තේරුම් නොගන්නෝ ඒ තේරුම් ගැනීම ඔස්සේ වෙනසකට මුල නොපුරන්නෝ හැමදාම එකම චක්කරේය. 

දෑස වසා ගැනීමට වඩා දෙකන් වසා ගැනීම පහසුය. දෙකන් වැසෙන සේ හොද ඇබ දෙකක් ගසා ගන්නවාට වඩා කැමති දේ අසන්නට පුළුවන් පොරොප්ප දෙකක් ගසා ගැනීම වඩා යහපත්ය. අද සාමාන්‍ය බස්රථයේ සිට පාරේ තොටේ කොතැනත් මේ පොරොප්ප කාරයින් බහුලය. එය තාක්ෂණික දියුණුවේ එක්තරා පිළිඹිබුවක්ලු. කනට අකමැති දේ ඇසෙන්නට අරිනවාට වඩා පොරොප්පයෙන් හෝ තමන් කැමති දෙයක් අසන්නට හැකි නම් මදෑ...

ඇසට පෙනෙන දේට අකමැති නම් අහක බලා ගන්න පුළුවන්. කනට ඇහෙන දේ ට අකමැති නම් පොරොප්ප ගහගන්න පුළුවන්. එතකොට අපේ ජීවිත වලට බලපෑමක් ආවම? එතනින් පලායන්න පුළුවන්... නූතන දියුණුව එක්තරා විදිහකින් අපේ ජීවිත පහසු කරනවාට වඩා අපි ඔත්පොළ කරනවා කියල හිතන්න කවුරු අකමැති වුනත් තියෙන්නෙ එක හේතුවක් විතරයක් නොවෙයි.

හරි විදිහට තේරුම් අරන් හරි විදිහට භාවිතයට ගන්න ඕන තාක්ෂණික මෙවලම් වැහි වැහැපු සමාජයක ඔත්පොළ කම කරපින්නා ගෙන අපි අනාගතයට යන්න හදන ගමන මෙබදුයි. 

හැම දේටම තාවකාලික පැලැස්තර යොදලා ප්‍රශ්න මග ඇරලා , සියල්ල අමතක කරලා ගමනක් යන්න බෑ. හැම දේකම සීමාවක් තියෙනවා. යමක් අසීමිත නම් එය සීමාවක ඉන්න විදිහට හැදිලා තියෙන අපිට ගෝචර නෑ. ලෝකෙ කොච්චර අලුත් වුනත් , අලුත් ඇදුම් ඇන්දා කියලා ශරීරයක් වෙනස් වෙන්නෙ නෑ වගේ, පිටත පෙනුමෙන් වෙනස් වෙන ලෝකයේ හැමදාම තියෙන්නෙ එකම ඇත්තක්. ඒ ඇත්ත තාක්ෂණයෙන් අතික්‍රමණය කරන්න බෑ. තාක්ෂණයන් දියුණු වන්නේ මේ ඇත්ත හදුනාගැනීමේ පරා‍සය තුළ පමණයි. එක අතකින් ඒ ලෝකයේ පවතින ඇහැට නොපෙනෙන අපට නොහැගෙන දේ දැනෙන හැගෙන තැනකට පත්කරගැනීමක් පමණයි. ඒ දැනගත් දෙයින් ප්‍රයෝජන ගන්නවා. නමුත් දැනගන්න හැම දෙයක්ම අපට වටින්නේ නෑ කියන දෙය තේරුම් නොගන්න එකත් වදුරා හා දැලිපිහිය ගැන අප දන්නා, අසා ඇති එහෙත් තේරුම් නොගත් සරල කතාවේ අන්තර්ගතයි.

ගැජට්ටු, විජට්ටු හා ඒ ගැන පාරට්ටුත් මිනිස්සුන්ට අවශ්‍යයයි. ඒවා මිනිස්සුන්ගේ ජයග්‍රහණ තමයි. නමුත් ඒ ඔස්සේ අපේ ජන මනස කොපමණ ඔත්පොළ වෙලාද කිව්වොත්, අද ‍තරුණ ප්‍රජාවේ කනේ සංගීතයෙන් කි‍යවෙන්නෙත් එහි පිළිඹිබුවක්මයි. බැහැරින් එන දේවල් අපිට දරා ගන්න බෑ , එතරමකට.. බස්‍ එකේ ඇහෙන ගීත අපිට අමිහිරී නම් ඒකට හදාගන්න ඉවසීම වෙනුවට කනට දමාගන්න පොරොප්පයයි අපේ විසදුම. සරලවම හොදයි. ඒත් අපි ‍ඔත්පොළයි. කනට ඇහෙන අමිහිරි දේ අපට ඉවසන්න බෑ. එතනින් මනසට එන පීඩනය අපට දරාගන්න බෑ. අපි එක එක ගැජට්ටු තුළ ඇබ්බැහි වෙනවා. අපේ ජීවිත පාලනය කරන්නේ අපිට උත්පත්තියෙන් ලැබෙන මිනිසා කියන පැකේජයේ තිබෙන සොෆ්ට් වෙයා නොවෙයි. නොයෙක් ව්‍යාපාරිකයින් අපට හදා දෙන සොෆ්‍ට් වෙයා. ඉතිං අපේ නඩත්තුව කොතැන  හරි සමාගමකට පවරලා අපි හුස්ම ටික විතරක් වැටෙන්න අරිනවා. ඔන්න අපේ ජීවිත යන ගමන..

මිනිහා නිර්මාණය කරපු දේවල් වල පාලනයට මිනිහා නතුවෙනවා. ඒ නතුවීමෙන් සපුරා මිදෙන්න වන ගත වුනත් අපට බෑ. නමුත් වන ගත නොවී මුත් ඒ නතුවීම පාලනය කරගන්න අපට බැරිද? පුළුවනි. නමුත් මෙහේ අපි මේ තාක්ෂ‍ණයෙන් පීඩා විදලා ඔත්පොළ වෙලා ඇදට වැටෙනකම් අපිට ඒ ගැන උවමනාවක් නෑ. තේරුමකුත් නෑ. මෙහේ අපි හැමදාම එහෙමයි. අපි ලග තියෙන සරල සත්‍ය තේරුම් ගන්න බැරි තරමට අන්ධ නිසා වටේ ගිහින් හැමදාම බැටේ කනවා.

සරලව කතාකරන ඇත්ත දේවල් සත්‍ය හැටියට මිනිස්සුන්ට නොපෙනෙන්න ගත්තේ හැමෝම උගත්තු වෙන්න පටන් ගත්තට ප‍ස්සෙ. ඒ උදවිය දන්නෙ නෑ තමන් උගත් දැනුම හැදුනෙත් බිංදවෙන් බිංදුව එකතු උන ඇත්ත ගැන විග්‍රහයේ පදනමේ විකාශනයෙන් බව. ඒ නිසා දැන් ඇත්ත හොයා ගන්න වෙනම ඛණ්ඩනය කළ උපාධි හා විෂය පථයන් ඔස්සේ යන්න ඕන. ඒත් මේ විගඩං චින්තනය මෙහේ පමණයි. අපිව බොරු උගත්කම් පැ‍ළැන්තියක් තුළ නිර්ලජ්ජිත විදිහට අතරමං කරලා, කනේ කඩුක්කන් නොව පොරොප්ප ගහගත්ත කාටත් ඒ ගැන දැනීමක් හැගීමක් නෑ. ඒකත් මෝඩ වෙන මිනිහාගේ ස්වභාවයක්. ඉතින් ඔන්න ඔහොමයි අපේ ගමන..

අපි යන්න හදන්නෙ ආශ්චර්යයට, නමුත් තේරුම් ගන්න ඕන මේ ආශ්චර්ය හදන්න යනනේ කනේ ගහන පොරොප්ප ‍ජනතාව අතර බෙදල ජන්ද පදනම් හදාගන්න හදන දේසපාලු තාත්තලා හා පුත්තුන්ගෙන්ද කියන එකත්. මෙහේ ඉහළ සිට පහළ ගම් මට්ටම දක්වාම මේ බේබදු චින්තනය පැතිරිලා. මිනිස්සු ඉන්නෙ ඔල්මොරොන්දන් වුනු ගානට. පොලිසි, උසාවි, වෙනත් කාර්යාල පඩි ගෙවන්න ‍විතරයි. මිනිස්සුන්ට හරිම සේවාවක් ගන්න දේසපාලු උන්නැහේලා වෙනම කාර්ය පටිපාටියක් ගෙනියනවා. ඒ දේවල් බොහොම නින්දිත විදිහට ජන සම්මත කරගෙන.  දැන්‍ සාමාන්‍ය මිනිහා විශ්වාස කරන්නේ ඒ දේවල් තමා සමාජ සම්මත දේ කියලා... මිනිස්සු මී හරක් බවට පත් කරන්නෙත් තණකොළ කන්නෙත් ඔය විදිහටයි. අපි අපේ කනේ මවිල් අයින් කරලා, කඩුක්කන් කතාව පැත්තකින් තියලා පො‍රොප්ප ගහගෙන මේ ගමනේ නොදැනෙන ගානක යමු,,,,   කවුරු එහෙම ගියත් මම මගේ ජන්දෙ අදත් දෙන්නෙ පාටකට පක්ෂෙකට නොවෙයි, හරි දේට හරි පුද්ගලයට.. මම එහෙමයි. මෙහෙම හිතන මම වගේ තවත් අය මෙහේ ඉන්නව.. ඔවුන් ගැන ආඩම්බරයි... නමුත් බහුතරයා තමන්ගේ හිතත් හිසත් කෙළින් කරගන්න හිතන තාක් අපේ ගමන මෙහෙමමයි කියා හිතුවොත් පැරදුනු පිරිස වන්නේ අපියි. හරි දේ කරල පැරදෙන්න උවමනා නෑ... ඒනිසා ශක්තිමත් වෙන්න. එක පෙළට හිටගන්න. ඔය බොරුකාර නිවට බේබද්දන්ගේ නැවුනු කොන්දට විරුද්ධ ඔබේ ශක්තිය පාවිච්චි කරන්න තවත් පසුබාන්නව එපා... ඇදල දාන්න ඔය පොරොප්ප කනෙන්.. .

මිනිසුන්ගේ චින්තනය පැහැදිලි තාක් නොගැලපීම් විකාර රූපීය. මිනිසුන්ගේ චින්තනය විකාර රූපී වන දාට නොගැලපීම් තුළ මිනිස්සු ගැලපීම් දකිති.‍ - හලොව් රස්ටා..

No comments: