Thursday, June 20, 2013

තැටිය රත් වී ඇත, සුරා බදුනත් කහට තේ එකත් අතරින් (ප්ලස් වීමේ කතාව)

සුරා බදුනට ගැලපෙන්නේ මස් පෙත්තකි. කහට කෝප්පයට රොටියක් ගැලපේ. අප දන්නා ප්ලස් කිරීම නම් එබදුය.

දැන් තැටිය රත්වී ඇත. රොටියක් පුළුස්සුමුද? මස් පෙත්තක් පුළුස්සා ගනිමුද? ප්ලස් වීමේ කලාව සමග ඔබගේ තේරීම කුමක්ද?

අප ජීවත් වන හතරවරං සමාජයේ මේ හතරවරං අභූත රූපය මොළය කළදකට වඩා වැඩි ඈයින්ට නොතේරී යා නම් නොහැක.

දැන් සූදානම එවැනි දෑ තේරුම් ගන්නට කැමැති උදවිය වෙනුවෙන් ඒ කතාව කියන්නටයි. කාළයක සිට තමන් ලද විවිධ අත්දැකීම් තුළ පුද්ගලයා සේම පොදු සමාජ දේහයද යම් කිසි පරිණතියකට ලක් වෙයි. මේ පරිණතියේ සීමා කෙබදුද එහි වටිනාකම් කෙබදුද යන්න පසෙක තිබියදී එහි පරිණාමය ගැන අවධානයට ලක් කිරීම මගේ කැමැත්තය. කිසිවෙකුගේ වාද හෝ මුලාශ්ශර වලින් තොර මගේ ශුද්ධ වූ රස්තියාදු ඥානයේ වටහා ගැනීමෙන් මෙසේ ලියමි. එසේ  කියුවේ එබදු මුලාශ්ශර දන්නා අය ගැන කිසියම් ම වූ නොපහන් හැගීමකින් හෝ අගෞරවයකින් නොවන බවද මෙතැනම කියමි.

මා කල්පනා කළ ඒ පරිණාමයේ බෙහෙවින් තීරණාත්මක අවදියක අද අප සිටින්නේයැයි ඒ මේ අත අප සමාජයේ සරලව සැරි සරද්දී මම දකින්නෙමි. එය හරියට අවුරුදු පනස් පහක වයසක තැලැත්තෑනියෙකුගේ පරිණත භාවය මෙන් යැයි විටෙක මට සිතේ. ජන මනස රත්වී ඇත. දැන් දැන් තමන් සන්තකයේ තිබුණු සංස්කෘතිකමය හරයේ වටිනාකම දකින අතරම වෙනස් වන සමාජ රටාව නූතන තාක්ෂණය සමගින් ගම් නියම් ගම් කරා අනියමින් හෝ සම්ප්රේෂනය වී ඇති බව පෙනේ. මතුපිටින් යන තාක්ෂණය සමග මතුපිටින්ම ගමන් කරන සමාජ සබදතා වල ඇති කෘතිම ගතිය ක්රමයෙන් ගමතුළටද පැතීරී ඇත්තේ නොදැනුවත්වමය. තමන්ගේම වැරදි නිසා තමන්ගේම වගකීම් යුතුකම් ඉටු නොකළ විශ්රාම යෑමට ඔන්න මෙන්න කියන මේ තලැත්තෑනියා දැන් සුසුම් ලමින් හිදී. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරිය. එබැවින් ඒ සදහා වෙහෙසීමට නොව, ඉතිරි වයසත් දැන් ඇති නුවණත් නිසි ලෙස භාවිත කොට දැන්වත් තම යුතුකම් ඉටු කරන්නට වගකීම් තම අතටම ගන්නට මේ තලැත්තෑනියා කල්පනා කරන්නේ නම්? සමාජ දේහයේ අද වැඩිහිටි නියෝජනය බාල පරම්පරාව හමුවේ නිරුත්තරව හිදිති. වරද කාගේවත් නොවේ. එය එක්තරා යුග පරිණාමයකි. එයට ගොදුරු වූ මානවයාගේ වැළපිල්ලකි.

එබැවින් දැන් තැටිය රත්වී ඇත. රත් වෙමින් ඇත. සුරා ලෝලීන් මස් පුළුස්සන්නට බලා හිදී. කහට කෝප්පයක් තොල ගා සැනසීමක් ලබන අහිංසකයෝ රොටී පුළුස්සන්නට බලා සිටියත්, ඔවුන්ට එයට නිසැක සහයක් ලැබෙන්නේ කාගෙන්ද? මෙය බුදුන් වැඩිය රට වුවත් අද සුරාලෝලීන්ට වැඩි සැළකිලි තිබේ. එබැවින් අපි කහට එකක් බී රොටියක් කන්නට සිහින මවන විට, බල ඇත්තෝ නම් සුරාවේයයි කියන්නෝ සුරාවෙන් තම පිම්බුනු අවයව බලහත්කාර ලෙස භාවිත කොට අපේ තැටියේ ඔවුන්ගේ මස් පෙතිම පුළුස්සති. මෙරට වසන්නන්ට ඒ මස්ගද හොදින් දැනෙන්නේ අද ඊයේ සිටන් නොවේ. තැටියේ රත් වීම වැඩි වන්නට එය දැන් වැඩියෙන් දැනෙන්නට ගත්තා පමණකි. ඉදින් කණගාටුවේ අවේගය දුකක් නොවනු පිණිස මෙසේ ලියා තබන්නේ පහන් සංවේගයකිනි. තවත් මේවා ලියා ඵලක් ද නැත. ඊලගට ලිවිය යුත්තේ තෙවැනි දශකයකින් මෙපිටට එන ජීවිත වයස් ඇති මගේ පරම්පරාවේ අය වෙනුවෙනි. ඒ බොහෝ අයට තැටියත් , රොටියත් හතරබීරි කතාවක්ම පමණි. 

ඒ ඈයින්ට රස්තියාදු ප්ලස් වන්නේ නැත. එය විනාශයට මගක් විය හැකිය, ශුද්ධ රස්තියාදුව කීවාට තේරෙන්නේ නැත. එය ඔවුන්ගේ වරද නොවේ. යුගයේ පරිණාමික ත්වරණයේ වරදයි.

එනිසා අපි ඔවුන්ට ප්ලස් කළ යුත්තේ අලුත්ම දේවල්ය. ඒ මෙවැනි අයුරකින් යැයි මට සිතේ.

ඔවුන්ට අපි ලියමු, ලස්සන කතාන්දර. විද්‍යාත්මක ලෝකයේ ජීවිතය හා අතේ තියෙන ඇත්ත ඇත්ත බව නොදන්නා නිසා වටේ ගිහින් ඒ ඇත්තම හොයා ගන්නා හැටි. අපිට තියෙන තාක්ෂණික අලුත් දැනුම යොදාගෙන  ඒ ගැන නිර්මාණාත්මක දේ කරමු. අපි ඇත්ත හොයාගන්න ගිය රස්තියාදුව අඩු තරමින් ඒ අයට විද්‍යාත්මක ක්රමයක්වත් කරමු. එතකොට අඩුම වශයෙන් සමාජ පිළිගැනීමවත් ඒ උදවියට ලැබේවිනේ. එය කාටත් සතුටු සිතින් ජීවත් වන්නටවත් අවස්ථාවක් ගෙනදේවි. දැන් වන විටත් ක්රියාත්මක වන ඒ ක්රමයට මෛත්රියෙන් හිස නමන්නේ පෙරලුනු පිට හොදයි කියන්නට නොව, ආපිට පෙරළන්නට බැරි බව දන්නා නිසයි. නොපෙරෙළෙන බව දන්නා නිසයි. එහෙනම්, එබදු දේ රත් වූ තැටියට ප්ලස් වේවා..යි පතමු.

2 comments:

Aruni Shapiro said...

වයින් වීදුරුවක් සුරා බඳුනක් ද? නැත්නම් වයින් වීදුරුව මිදි පානයක් ද? වයින් වීදුරුවක් එක්ක සැලඩ් කන අය, පස්ටා කන අය ඕනෑ තරම් දැකලා තියෙනවා. කහට තේ බි බී (හැබැයි අයිස් කහට තේ) මස් පෙති ගිලින අයත් ඕනෑ තරම් දැකලා තියෙනවා. මේ අය දකින්නෙ ඇමෙරිකාවේ දී හැබැයි. ඉතින් ඔබේ "ශුද්ධ වූ රස්තියාදු ඥානයෙන්" (අගේ ඇති වහරක් බව කියනු කැමැත්තෙමි) ඒ ගැන හිතෙන්නේ කුමක් ද?

හලෝව් රස්ටා Hallow rusta ශුද්ධ වූ රස්තියාදුව said...

ප්‍රතිචාරයට ස්තුතියි,

- සුරා බදුනට ගැලපෙන්නේ මස් පෙත්තකි. කහට කෝප්පයට රොටියක් ගැලපේ. අප දන්නා ප්ලස් කිරීම නම් එබදුය.- මෙහිදී මා අප යනුවෙන් සදහන් කළේ මා ජීවත් වන ලාංකීය සමාජයයි. එහිදීත් මගේ උත්සාහය එක් සමාජ කොට්ටාශයකට තල්ලු නොවී අතරමැදි තැනක හිදින්නටයි. එබැවින් මගේ මාතෘකා සහ ගැලපුම්ද ඒ අනුව විය. සරලව කීවොත් සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය භාවිතය වහරට ගැලපූයෙමි.

- වයින් වීදුරුවක් සුරා බඳුනක් ද? නැත්නම් වයින් වීදුරුව මිදි පානයක් ද? වයින් වීදුරුවක් එක්ක සැලඩ් කන අය, පස්ටා කන අය ඕනෑ තරම් දැකලා තියෙනවා. කහට තේ බි බී (හැබැයි අයිස් කහට තේ) මස් පෙති ගිලින අයත් ඕනෑ තරම් දැකලා තියෙනවා. මේ අය දකින්නෙ ඇමෙරිකාවේ දී හැබැයි.- සරලවම කියන්න තියෙන්නේ ඒ ඇමරිකාවේ, මේ ලංකාවේ කියා. :D . ඇත්තෙන්ම මගේ අදහස මම ඇමරිකාව මුල් කොට ලියුවා නම් ඔබතුමිය ඔය කිව් කාරණා කලින්ම දැනගෙන මගේ මාතෘකාව වෙනස් වෙන්න තිබුනා. නමුත් මෙහි දී අපේක්ෂා කරන්නේ මස් කෑම මෙන්ම සුරාව හා ගැලපීම් යන්න ගැනනම් මට කියන්නට තිබෙන්නේ දේසේ හැටියටයි බාසේ.