Wednesday, June 26, 2013

විතර්ක ආලම්

අපි ගමනක් ගියෙමු
එකිනෙකා එකට හැපෙමින් ගමන් ගතිමු
මද දුරක් ගියෙමු
දෑත් මුදා දෙපසට වී ගමන් ගතිමු
දැන් අප දෙපසය
එක් පසෙක ඇය
අනෙක් පස මම
අපි දුටුවෙමු
ඇය කීවේ එය මහා ඵල ඇති රුකක් බවයි
මම දුටුවේ දිරා ගිය මහා රුකක් බවයි
පසෙකට වී බැලුවෙමු
පැත්තක් දිරා ගිය අනෙක් අත ඵල බරවූ මහ ගහක්
දෙදෙනාම ඒ වෘක්ෂයක් බවට එකගවුනෙමු
යලිත් ගමන් කළෙමු
අපි දැක්කෙමු
ඇය කීවේ ඒ සුදු හමක් බවයි
මා දුටුවේ හම කලු බවයි
පසෙකට වී බැලුවෙමු පෙර ලෙසම
පැත්තක් දා පිච්චී ගිය මහළු මිනිසෙක්
දෙදෙනාම එකගවුනෙමු මහළු මිනිසෙක් බවට ඒ
යළිදු ඉදිරිය බැලුවෙමු
දුටුවෙමු
ඇය කීවේ දෑසක් නාසයක් කටක් බඩක් ඇති බවයි
මම ගෙලක් පිටක් පස්සක් වලිගයක් ඇති බව කීවෙමි
පසෙකට වී බැලුවෙමු
වානර කුලයෙන් බවට අප එකගවීමු
අපි නැවතුනෙමු
එය අන්ධ බව ඇය කීවාය
එය බිහිරි බව මම කීවෙමි
පසෙකට වී බලන්නට 
අපට අවැසි නොවිණි

No comments: