Friday, May 17, 2013

නිදි වැද්දෝ(නැගිටින්නට නම්)

වේලාව - උදෑසණ 8, 9. ස්ථානය - හද්දා උතුරුකරයේ සිට කොළඹ බලා ඇදෙන දුර ගමන් පොදු මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ.

බොහෝ දෙනා කාලයක පටන්ම නිදිවැද හිදින බැවින් මේ කිසිවක් දෙස අලුතෙන් බලන්නට උනන්දු නැත. හැකියාවක්ද නැත. එනිසා හැමවිටම එවැන්නන්ට මේවා සාමාන්‍යය. හැබෑව, කුම්භකරණ වංශිකයන්ගේ කැමත්ත අවදිවීමට වඩා නිදි වැද සිටීමටම තමා.

කොළඹට පිවිසීම දක්වා ගෙවෙන සැතපුම් තිහ හතළිහ මිනිස්සු කැමැත්තෙන්ම නිදති. එ‍ෆ් එම් සේවාවෝ බොහොමයක් ඒ නින්දට නැළවිලි ගී ගයති. නැත්නම් එකම තාලයේ ගී ගයන අවුල් කොවුල් හඩ වල් මේ නින්දට තනි රකිති. අපේ අති සාමාන්‍ය මිනිහාගේ ගමන ගෙවෙන්නේ මේ ආකාරය. කොළඹ සීමාවේදී මේ නින්ද පුරුද්දෙන්ම අවදියක් වෙයි. ගෙන්දගම් පොළවට පය ගැසීමට එතැන් සිට කඩිවෙස් ගනිති. අවුල් වූ තද බදයෙන් පිරි පාරවල් ගානේ රස්තියාදු වෙන්නටත් නන්නත්තාර මානසිකත්වයෙන් රස්තියාදු වී රෑ බෝවෙන තෙක් ජීවිතේ තවත් දවසක් අවුලෙන් අවුලට ගෙන යන්නටත් අති සාමාන්‍ය මිනිහා පෙළ ගැහෙන්නේ මේ ආකාරයෙන්ය. 

මහා ලොකු ව්‍යාපෘති ගැන පාරම්බාන දියවන්නාවේ පිහිනන මැඩියෝ එවැනි උදවිය තමන්ගේ පෝස්ටර් ව්‍යාපාරයෙන් පරිසරය වැනසීමටත් බත් පැකට් පෙළපාලි වලින් බලය පෙන්නීමටත් නිති යොදා ගනිති. ඉදින් මේ අති සාමාන්‍ය වැසියෝ බසයේ සේම 'රට' යන ගමනේද කැමැත්තෙන්ම නිදි වැද්දෝ වෙති. 

ඉදින් මෙහෙව් වූ වැසියන් තුනෙන් දෙකකට ආසන්නව වෙසෙන අප රටේ සංවර්ධනය වෙමින් හිදීමක් මිස වර්ධනයක් නම් කෙදිනකවත් වෙන්නේම නැත. අතපය තැලෙන පොඩිවෙන ඒවායේ වේදනාව දැනෙන මිනිසුන් කෙදිරිගගා නිදි වැදෙද්දී වායු සම‍නයේ අපේ වැදගත්තෝ නිදි වදින්නේත් සැප විදින්නේත් බොහොමත්ම සාධාරණ ලෙසය. (ඔවුන් පවසන්නේ එසේ සැතපෙන්නේ සාමාන්‍ය මිනිහා වෙනුවෙන් කරන කැපකිරීමට ලබන බෝනස් ලෙසින් බවය, ඒ බැව් හෙළි වන කතාවක්ද දිනක් ඔය පල් මෝඩයෙක් කීවේය. අති‍සුඛෝපභෝගී වාහන නැතිව දුෂ්කර පැතිවල සංචාරය තමාට අපහසු  අපහසු බවයි ඒ. අපට සිටින පාලකයන් වැඩි දෙනෙක් මේ ආකාරය.)  

මෙය සමාජ වාදය ක් හෝ ධන වාදය ක් හෝ වෙන කිසියම් වාදයක් නොවේ. බොහෝ කොට ඇත්තය. අප රටේ ඇති අසාධාරණ අයුක්ති සහගත නින්දා සහගත නිර්ලජ්ජිත අනවබෝධය මෙයයි. දුප්පතුන්ට ධනය බෙදා දීම හෝ පෝසතුන්ගෙන් අපමණ බදු ගැනීම නොව මිනිසුන්ගේ වේදනාව පීඩාව,  ඔවුන් අසාධාර‍ණයෙන් හා අයුක්තියෙන් පීඩාවට පත් වීමට හේතු නොසෙවීම මේ පිටුපස වෙයි. භෞතිකමත් නොවන මානසික කාරණා ගණනාවක් ද මේ පිටුපස ඇත. නිවැරදිව සිතන්නට රටක් ලෙස හෝ දැයක් ලෙස හෝ චින්තයක් තිබෙන්නේ කොහෙද? කතා වට වඩා ආදර්ශය පෙරමුණට පැමිණෙන්නේ කවදාද?

බොරු කියමින් ඒ බොරුවටම නිවට කම එකතු කොට අයාලේ යන මං ගැන දොඩවනවා විනා මිනිසුන්ගේ මනස නිරවුල් කොට රටක දැයක ජනතාවක් ලෙස නැගී සිටීමේ අවසන් තැත කොතැන තියේවිද? මෙයින් තවත් කලකට පසු අපට කතා කරන්නට කිසි දෙයක් ඉතුරු නොවනු ඇත නෂ්ටව නටඹුන් ගැන මිස.

බොහෝ සිහින යථාර්තයන් බවට පත්කර ගත හැකිය. එය රදා පවතින්නේ සිහින දකින්නාගේ චින්තනයේ ප්‍රබලතාව මතය. 

කණගාටුව අපේ පාලකයෝ දුර්වල චින්ත‍කයෝ වීමයි. අවුල් චින්තනයක හිදින පාලකයෝ කෙසේ මිනිසුන් වෙනුවෙන් නිරවුල් මගක් තනද්ද?

No comments: