එහෙන් මෙහෙන් ගොඩක් පැති වලට එබිල බලල දකින්න ලැබෙන දේත් ගැඹුරින් හිතන්න වෙන දේත් සැලකිල්ලට ගත්තම එන්න වෙන අවසන් නිගමනයක් තමයි ලාංකීය අපි කුම්භකරණ වංශිකයෝ කියන එක. රාවණ ගැන කියවෙන ඉතිහාසයේ සහෝදර සමාගමේ හිටි විභීෂණ වගේම කුම්භකරණත් අපට අමතක කරන්න බෑ. මේ කතාවේ නායකයා ඒ කුම්භකරණ.
මාස හයක් එක දිගට නිදාගෙන ඉන්න මේ මනුස්සයව ශබ්ද පූජා පවත්වල ඇහැරව ගත්තම තවත් මාස හයක් නිදා නොගෙන වැඩ කරනවලු. ලු යන්නෙන් ඉවර කලා සේම මේ ප්‍රවාදයේ ඇත්ත නැත්ත කෙබදු වේවා. එහි ගැබ්වුනු හරයක් ඇති බව නම් අපේ ජනයා දිහා බලනකොට හිතෙනවා.
අසීමිත පීඩනයකින් මිරිකෙන කොට ඒක දරාගෙන නොසැළී යන්න පුළුවන් තරමේ හයිය මනසක් අපේ මිනිස්සුන්ට තියෙනවා. නමුත් කවදකවත් මේ මනසෙන් ප්‍රයෝජන ගැනීම් තිබුණා නම් අපට මෙහෙම වෙනවාද? හේතුව, ඔය මනස අවදිවෙන්නත් අසීමිත පීඩනයක්ම ලැබෙන්න අවශ්‍යවීම. ඒ කියන්නෙ ශබ්ද පූජාව. තවත් සරලව කීවොත් නිදාගෙන හීන දකින මිනිස්සු නිදාගෙන හිටි බව තේරුම් ගන්නෙ ඇහැරෙන කොට වීමයි. ඒත් අපේ ඇහැ ඇරෙන කොට අපි ඉන්නෙ කොතනද කියන්න කවුරුත් දන්නෙ නෑ? සමහර විටක ලොකු අවදානම් තැනක වෙන්නත් පුළුවන්. අපේ සමහර ප්‍රශ්න වලට විසදුම් හෙවිල්ලත් ඔය වගේ.
මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න දන්නවා, ඒවට උත්තරත් දන්නවා, ඒත් සූදානමක් නෑ. දැක්මක් නෑ. ප්‍රශ්නයක් ආවම වටේ යන්න වෙන්නෙ ඒ නිසා. නිදාගෙන ඇහැරියා වගේ වෙන්නෙ එතකොට.
කරන්න ඕන දේ දන්නවා, කරන්න ඕන විදිහත් තේරෙනවා, ඒත් කරන්න ඕන වෙලාවෙ ඒක කරන්නෙ නැහැ. කරන්න ගන්නෙ අශ්වයා පැනගත්තට පස්සෙ ඉස්තාලෙ වහන ක්‍රමේට. ප්‍රතිඵලයක් නෑ. නින්දෙන් ඇහැරිලා වගේ.
රස්තියාදු වෙනවා. කාලෙ ගත වෙනවා. ඒත් අපි තවමත් සිහිනයත් යථාර්තයත් අතර හිරවෙලා.
අපි සිහින රාජ්ජය තුළ හිරකරලා වගකිවයුත්තෝ කව්ද කියල අපි ම දන්නෙ නෑ. ඉතිං තේරුම් ගන්න ඕන පළවෙනි දේ පළමු වගකිවයුත්තා තමන් බව.
අපි
මොනවද අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ. ලොකු දේවල් නොවෙයි. අපි සමහර විට හිතන්නෙ ලොකු ප්‍රමාණයෙන්මනේ. නමුත් ඔය ගොඩක් ලොකු දේවල් වලට වඩා පොඩිවට පෙනෙන හෝ නොපෙනෙන ගනනේ දේවල් තියෙනවා අගයෙන් බෙහෙවින් වැඩි. හිතන්න රටක සංවර්ධනයට ඔබේ නිවැරදි චින්තනයකින්, නිවැරදි ප්‍රතිපදාවකින් දෙන්න පුළුවන් දායකත්වය ගැන. ඔය ගොඩක් මාතෘකා අරගෙන කෙස් පැළෙන තර්ක
ගෙනෙන අපේ බොහෝ දෙනා රටේ යහපත වෙනුවෙන් කළ වැලි කැටයක තරම් දෙයක් තිබෙනවද?
නැතිවා විය නොහැකියි. හැබැයි එක වැලිකැටයක් යහපත වෙනුවෙන් තබද්දී වැලි ටොන් ගණනින් හලන්නේ අයහපත වෙනුවෙන් නොවේද? බොහෝ දෙනා
මෙබන්දන්. හිතන්න හැබෑ දියුණුව කියන්නෙ, සංවර්ධනය කියන්නෙ පොකට් එකේ විතරක් සල්ලි පුරවල අපේ තියෙන මනුස්ස ගති හින්දන එකකටද?
එක්
එක් පුද්ගලයා එකතුවීමෙන් සමාජයක් තැනෙන්නේය යන සරල සංකල්පයෙන් බැලූවිටමත්
පෙනෙන්නේ සමාජය යහපත් කර ගැනීම උදෙසාත් එක් එක් පුද්ගලයා වෙහෙස විය යුතු
බවයි. එනමුත් අද බොහෝ දෙනාට යහපත අයහපත සොයා ගැනීමට තරම්වත් නිස්කාංසු මනසක් තිබෙනවාද?
අල්ලස ගන්න මිනිහා වැරදියැයි කියන අපි ඇයිද අල්ලස දෙන මිනිහා ගැන එතරම් හිතන්නැත්තේ, යහපත අයහපත අපේ වාසිය අනුව හදා ගනිමින් නොවේද ඒ? දැන් හොද නරක, පින් පව් වාසිය අනුව බොහෝ විට හැදෙන්නේ එහෙම තමා. මගේ වැඩේ කරගන්න කාට හෝ පන්දම් ඇල්ලීම නරක නොවේ. නමුත් රස්සා දේශපාලන පත්වීම් බවට විටෙක අපි චෝදනා කරමු. අවසන දෙකම හරිය, ඒ මෙහේ ක්‍රමේ හැටිය කියා හිස කසා හෝ නොකසා නිවට ගතිය පාමු. අපේ කුම්භකර්ණ නිදි වැදීම මෙහෙව් ආකාරය. මර නින්දේ ඉද්දී අපිට මේ කිසිත් වෙනස් විය යුතු යැයි හිතෙන්නේම නැත. එතරමකටම නිදි මතයි.
එක අතකින් සිහිනයත් යථාර්තයත් අතර දෝලනය වෙලා හරි යම් නිවැරදි තේරුම් ගැනීමකට එනවා නම් එක හරි වැදගත්, ඒත් ප්‍රශ්නය ගොඩක් දෙනාගෙ මේ රස්තියාදුව ඉහත කී ලෙසින් ශුද්ධ නොවෙන එක. වැරදිම කර කර ඉදන් තමන්ට පාඩුවක් වෙනතැන විතරක් එකවර නින්දෙන් ඇහැරියා වගේ හරි වැරැද්ද කතා කරන්න ගන්නවා. මේ ඵලය ඇති වුනේ අපිම හදාගත්ත හේතු දාහකින් කියල තේරුම් ගන්නේ නැහැ. අපි හිටියෙ මර නින්දේ නොවේද කියල තේරුම් ගන්නේ නැහැ. පට්ට පතුරු යනකන් කතා කරනවා, සාකච්ඡා කරනවා. ප්‍රශ්න ආවහම එහෙමයි. ඒත් ඒවයින් ලබාගන්න දිගු කාලීන ප්‍රයෝජන නැහැ. ඉතිං හැමදාම එක තැන පල් නොවී ඉස්සරහට යන්නෙ කොහොමද? ආසයි බයයි වගේ ප්‍රතිපත්තියක්ද මේක? නැත්නම්, අද නොවේ හෙට! කියන බාලගිරි දෝෂයක්ද? නැතිනම් පැහැදිලිවම කියන්න වෙන්නෙ කුම්භකර්ණ දෝෂය. කොහොම වුනත් මේ දෝෂය භංග කරන්න කාලෙ දැන් හරි.
නිරන්තරවම ශබ්ද පූජා පවත්වලා තමන් තුළ සිටින කුම්භකර්ණයා නිරන්තර අවදියෙන් තබා ගතහොත් පමණයි සිහිනයත් යථාර්තයත් අතරින් යම් ගමනකට අප වැටෙනු ඇත්තේ. මර නින්දේ සිටියොත් අපව නින්දේදීම මෙහෙයවා වැඩ ගන්නන්ගේ හස්තයේ අප නැටවීම පමණක්මැයි සිදුවනු ඇත්තේ.
ජීවිතය යනු මුදල් නොවේ. මුදල් යනු සිහිනය සුන්දර කරන මාධ්‍යක් පමණකි. සිහිනය යනු සැබෑව නොවේ. සුන්දර සිහිනයෙන් දිනෙක අපට අවදිවන්නට සිදුවේ. ඒ යථාර්තයේදී මුදලින් අපට දිනීමටවත් ස්ථාවර වීමටවත් නොහැකියි.
එබැවින් කුම්භකර්ණලාගේ සිහිනයට මුදලුත් යථාර්තයට මානසික හයියත් අවැසිමයි. ඒ මානසික හයිය මිත්‍යා පදනමකින් ලැබිය නොහැකියි. සත්‍ය පදනමක් ජීවිතයකට අවැසි බව දැනෙන්නේ එවිටයි. ඉදින් ඒ සත්‍ය පදනම සොයා වන රස්තියාදුවත් ශුද්ධ විය යුතුමයි. හීනයත් යථාර්තයත් අතර අපේ කුම්භකර්ණ ගමන නිවැරදි දිශාවක් ඔස්සේ දමා ගැනීම අප කාගෙ කාගේත් වගකීමයි. ඒ දිශාව නිවැරදි නූනෝතින් අපේ මර නින්ද සිතුවාට වඩා බරපතළ කාරණයක් බව දැනෙනු ඇත්තේ මත්තටයි.
මාස හයක් එක දිගට නින්දේ හරි සැප ඇති. ඒත් නැගිට්ටම තියනවා කරන්න මාස හයක වැඩ එක දිගට, මේක ලේසි වැඩක් නොවෙයි. ඒ නිසා හිතන්න කුම්භකර්ණ දෝෂයෙන් මිදෙන මග දැන් දැන්ම.
No comments:
Post a Comment