Monday, March 27, 2023

නිකමට විවේකයට විනෝදයට නොවේ! by the way

නිකමට

බංකොලොත් වී ලොකු රටවල්
අපට ණය දෙන පොරවල්
එමට වැටුණොත් ලෝකේ !
අපට වෙයි බෝ සෝකේ !

සුනාමි ආවේ නොකියා ය. ගියේ අපව වනසාය. අපි එකට පහන් දල්වා එකිනෙක කටින් පිඹ නිව්වෙමු. කෝවිඩ් ආවේ ලෝකයට ම ය. ගියේ ලෝකය හඬවාය. බොහෝ විට අහසින් එන පේන විපත් වලට වඩා පොළව නොපෙනී එන විපත් වලට හරි සක්‍රීය යි. කෝවිඩ් ඇවිත් ගියේ ළඟ නිසා අපට ආයේ එහෙම බියක් දැනෙන්නට තව කල් මදිය. විශේෂයෙන් අවස්ථා අනුව රටට ව්‍යවස්ථා හදන අපි ත්‍රස්තවාදය හැර  මේ මොහොතේ බලන්නේ සුදිය හා ජොලිය පමණක්ය. යන විදිහට තව ටික කලකින් හදිසියකට වත් අපව රකින්නට රාජ්‍ය උරුමයක් නොතිබෙනු ඇත. කරුමයකටවත් එදාට ස්වභාවික විපතකින් වේවා, යුධ ගැටුමකින් හෝ රසායනික අවි අත්හදා බැලීම් වල පිහිට ආනුභාවයකින් වේවා ලෝකයේ ප්‍රබල රටවල් දණ ගැස්සෙන තැනකට හදිසියේ ලෝකය ඇද වැටුණොත් ලෝකයෙන් ණයට ණය වුණු රාජ්‍ය උරුමයක් නැති අපට කුමක් වෙයිද?

බංකොලොත් වූ තැන මහජනයාගේ සුබසාධනය කප්පාදු කර බදු සංග්‍රහය වැඩි කර රාජ්‍ය උරුමය සින්න කරන්නට සිදුවූ රටක, ඉන් ඔබ්බේ අපට ස්ව කැමැත්තෙන් අනිකෙකුගෙන් මැරුම් නොකා ගෙල වැල දමා ගැනීම වඩා යහපත් තීරණයක් විය හැකි සමාජ වටපිටාවක් ගොඩ නැගෙනු නැතිද?
බලය හමුවේ තුච්ඡ ලෙස මජර දේශපාලනයේ ඊළඟ සැලසුම් හදන මහා ප්‍රාඥයින්ට නිකමටත් නොසිතෙන්නේ මෙවැනි හිතලු ය. නමුත් එහෙව් හිතලු හැබෑ වූ අවස්ථා අපි අසා දැක ඇත්තෙමු. එවිට ඒවා හිතලු නොව තුන්කල් දුටු දිවැස් වැකිය. කෙසේ නමුත් දේශපාලන ආලයෙන් අවස්ථාවාදයෙන් අන්ධව වහසි දොඩන්නට පෙර ඒ බැව් සිහි තබා ගැනීම අතීතය අමතක පොර කුකුළන්ට සේම සිහියෙන් අනාගතයකට යන්නට හදන කාටත් වැදගත් නොවනු නැති ය.

විවේකයට

රැල්ල වෙරළට එන තුරු
හිරු මුදුන් වන තුරු
ණයට කා පිනවමු ද ?
පිනට කා ණය වෙමු ද ?

රටක පුරවැසියන් ලෙස සාධාරණය, යුක්තිය, තම මූලික අයිතිය දිනා ගත නොහැකි වීම නිසා එදා මෙදා බංකොළොත් වූ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත, රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වීමට පෙරම බාර දෙමින් තිබුණේ කරුමයටයි. ආර්ථිකය බිඳ වැටීම නිසා බිත්තියටම හේත්තු වූ ජීවිත වල බරපතළම සැබෑ බේදවාචකයන් අදටත් අත්විඳින්නේ රටේ අහිංසක ම මිනිසුන්.
එදා ඔවුන් පීඩනයට පත් වූයේ දුර්වලයන් ලෙසින් නම් අද ඔවුන් තමන්ගේ රට තුළම අනාථ කොට දැමූවන්. අත්හැර දැමූවන්. ඔවුන්ට සිහින තබා නින්දත් ඇතැම් විට ජීවිතත් අහිමියි. ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු අදාළ වන බලධාරීන් නිලධාරීන් මෙරටේ එදත් හිටියේ නැත අදටත් නැත. නීති සරණට දිරියක් මුදල් නැති උන් මෙහි කෝටියක් යැයි කීම එනයින් වරදක් නැත.

ධනය, බලය, කුලය, නිලය, වර ප්‍රසාද මුල් කොට සිය පැවත්ම තකා ලාංකීය සමාජයේ වටිනාකම් කොල්ලලකා විනාශ කළ මජර දේශපාලකයෝ ඇතුළු මජර ලෝලීහු ණයට ණය වී නැවත හදන වැලි මාළිඟා ඔවුන්ගේ කෙළි සෙල්ලම් පිණිස පමණක්ම වන්නේ ඒ තුළ අයුක්තියට අසාධාරණයට දූෂිත ක්‍රමයන් වලට පිළියමක් නොලැබෙන නිසායි. වැල්ලට ගොස් වැලි මාළිඟා තැනීමෙන් සාමාන්‍ය ළදරු ජනයාටත් අයිස් කැටයම් හා අයිස් මාළිඟා තැනීමෙන් පොෂ් ළදරු ජනයාටත් අද විනෝද විය හැකියි. රැල්ල වෙරළට එන කාලයත්, අයිස් දියවන කාලයත් සොබා දහම තීරණය කරාවි, කිසි වෙක්ම මැදිහත් නොවුණත්!
නමුත් ඒ තවත් අර්බුධයෙන් අර්බුධයකට මග මිස විසඳුමක් නොවේ. වැල යන අතට මැස්ස ගසමින් යා හැකි දුරක් ඇත. අපි රටක් වශයෙන් ඒ දුර පසු කොට බොහෝ කල්ය. වැල අවුලක් අවුල් ජාලයක් වූ විට කපා දමන පරිද්දෙන් දැන් ජන සමාජයක පැවැත්ම කපා දැමීම පහසුද සුදුසුද? ජන සමාජය දැවැන්ත අර්බුධයක් කරා ආවේම අයුක්තිය අසාධාරණය අන්තනෝමතිකත්වයන් සමඟ රට අනවරතව ණය බරට සින්න වීමත් සමඟින් ය. මේ ක්‍රමය ප්‍රවර්ධනය කළේ කවුරුන්ද? කුමක් අරඹයාද ? එහි ම දිගුවකින් රට ගොඩයාමට පවතින ක්‍රමය කොතරම් දුරට ඉඩ දෙයි ද ? ජනතාවගේ සැබෑ අවශ්‍යතා ඉටු නොවන රාජ්‍ය පාලනයකට රට වෙනුවෙන් කියා මහ ජනතාව මත කොයි තරම් දුරකට අඥාදායකත්වය පැටවිය හැකිද?

විනෝදයට

අපි දුකෙන් දුක නසමු !
ණයෙන් ණය ගෙවමු !
වෙනස්වම හිතමු !
ලෝකයම දිනමු !

ඉදිරියට එන්නේ සැප විඳීම ම නිසා ඒකාකාර වු ජීවිතයේ වෙනසක් පතා දුක සොයා යන ලෝකයයි.
ස්වභාව ධර්මය විසින් අපට බංකොලොත්භාවය සමඟ විශිෂ්ඨ ප්‍රඥාවන්ත නායකත්වයක් උරුම කළේ ඒ අවස්ථාවෙන් ලද හැකි ප්‍රතිලාභ පින්වත් ලාංකිකයාට උදාකර දීමටමයි .
අෂ්ඨ ලෝක ධර්මයට අනුවත් හැමදා දුක නැත. සැපට හැරවිය හැකි ස්වභාවයක් දුක තුළම ඇත. කෙනෙක් සැප අලෙවි කරද්දී තවත් අයට දුක අලෙවි කළ නොහැකි ද?
උපරිම සැප ~ කාමසුඛල්ලිකානු යෝගයෙන් වෙද්දී අපට උපරිම දුක ~ අත්තකිලමථානු යෝගයෙන් ලබා දිය හැකිය.
සිංගප්පුරුව කාමසුඛල්ලිකානු යෝගය අලෙවි කරන අතර අප  නිතරඟයෙන් අලෙවි කළ යුත්තේ අත්තකිලමථානු යෝගය යි. එනම් දුක් විඳීම වෙළඳාමක් කිරීමයි. එතනට ආයෝජන ගෙන ඒමයි. සැපය අත්විඳීමට මෙන්ම දුෂ්කර ජීවිතය අත්විඳීමටත් මිනිස්සු අසීමිතව ප්‍රියය. ඒ වෙළඳ පොළ ජාත්‍යන්තර ව දිනා ගැනීමට මේ හොඳම අවස්ථාවයි.

තව දුරටත් ඒ දුක වැටහුණු අයට සතුටින් සිටීමේ මැද මගත් අවශ්‍ය අයට දුකින් මිදීමේ මාර්ගයත් පිළිබඳ දේශනා ලැබීමටත් මෙහි අවස්ථාව විවෘතය.
ඔවුන්ට කැමති දවසක් කැමති දුෂ්කර දුක්ඛිත තත්වයක් සමඟ ජීවත් වීමට අවස්ථාව ලබා දිය යුතු ය. නිදසුන් වශයෙන් ~ රෑ මැදියමේ වල් අලි ප්‍රහාරයක් සමඟ, දිවි සරිය උදෙසා සැබෑ වැල් පාලමක එගොඩ මෙගොඩ යන ජීවිත සමඟ, අඩුම වියදමෙන් දිවි රැක ගන්නවුන් සමඟ, වේලක් දෙකක් නිරාහාර ජීවිත සමඟ, ජීවත් වීම පිණිස හිඟා නොකා හිඟා කන අය සමඟ, ජීවත් වීම පිණිස වත්කම් උගස් කරනවුන් සමඟ, කියන කියන පදේට ගොවිතැනේ යෙදෙන්නට සිදු වූවන් සමඟ, නොපැහැදිලි අනාගතයට ඉව අල්ලන දරුවන් සමඟ, අයුක්තියට අසාධාරණයට ලක් කෙරෙමින් පාගා දැමෙන ගමේ රටේ තරුණ්‍යයේ ඛේදය සමඟ,  බිඳ වැටුණු ජනයාගේ ජීවිත වල දුක සමඟ,... මේ ආදී වශයෙන් අවම උපරිම මිල ගණන් සහිත පැකේජ සඳහා දුක් සිද්ධි වර්ගීකරණය කළ හැකිය. වැඩි දුකට ගාණ වැඩි ය. අඩු දුක ගාණෙන් අඩුය. එවිට ජනතාව දුක තවදුරටත් විඳවීමක් නොවේ. ආදායමකි. බිස්නස් කියන්නේ එහෙම එකකි.
එවිට සංචාරක කර්මාන්තය තව දුරටත් ගම් නියම්ගම් වල නොවිසිදෙන දුක් ගැටළු සමඟින් නව ප්‍රවේශයක් තුළ පුළුල්ව ප්‍රවර්ධනය කළ හැකිය.
බෝඩ් අල්ලා ගෙන සුද්දාට අරගල කරන්නට එන්න කියු කතාවට වඩා මේ කතාව ප්‍රායෝගිකය. වැඩ පිළිවෙල රාජ්‍ය හිතවාදීය. යටිතල පහසුකම් බිඳ වැටෙන තරමට වෙළඳාම විවෘත ය. පුළුල්ය. සමහර විට වැඩේ නැගලා ගියොත් මිනිස්සුම පාරවල් කඩා දමා දුෂ්කරතාවයන් වැඩිකොට ගෙන වුව වෙළඳාම සරු කර ගනු ඇත.
අපට රටට රාජ්‍යට පාලකයාට පහසුම හා ප්‍රතිපත්ති නැති රටක් වශයෙන් ණයෙන් ණය ගෙවීමේ දියුණුම හා සාර්ථකම ක්‍රමය වනුයේ ඒ අනුවර්තනයයි. සමාජ පරිවර්තනයකට වෙහෙසීමට වඩා සැබවින්ම බංකොළොත්භාවය යනු රටකට අත් නොවිය යුතු ඉරණමක් ය යන්න අධ්‍යයනය කරන්නන්ට පවා මේ ඛේදය අලෙවි කිරීමක් බවට පත් කිරීම කළ යුතුය. දුක වටහා ගැනීමට වෙහෙසෙන්නන්ට රටේ ජන දුක වටිනා මිලකට ලබා දෙන අත්දැකීමක් බවට පත් කළ යුතුය. පවතින වටපිටාව තුළ ණයෙන් ණය මත මේ දුකෙන් දුක නැසිය හැකි මග පෙනෙන්නේ එහෙමම ය.

No comments: