Sunday, March 19, 2023

සූප්පු / බැලුම් / දුනු හී

දැන දැන වැරදි කරන්නවුන් හුරතල් කරන සමාජයක් කිසි දින අලුත් අවුරුද්දක් උදා කර නොගනී. පරණ වැරදි කරපින්නා ගෙන හැමදා බණ කතා කරමින් විනාශ කරන රටකි මේ. 

දුෂිතයින්ට ගජ මිතුරු හොරුන්ට නිදහසේ සරන්නට වායු බැලුන් සපයන පාලකයෝ වංචාවට දූෂණයට තවත් කාලය හා ඉඩ අවකාශය සළසා දී තිබේ. මේ පිළිබඳවත් තමන්ගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳවත් මහජනයාගේ සැබෑ අදෝනාව වළක්වනු පිණිස ඔවුන්ගේ මුවට බලහත්කාරයෙන් සූප්පු ඔබ්බවමින් සිටිති. 

ඔබ ඒ දුෂිත බැලුන් වලට ඉලක්කය ගත යුතුය. ඒ එල්ලය බැරි බව හැඟවීම දුර්වල ආණ්ඩු වල කාර්යය වුවත් ඒ නොහැකියාව හැකියාව බවට පෙරළීම රට වැසියාගේ පරම යුතුකමකි. ඒ බලය ඔබ සතුය. එළැඹෙන අලුත් අවුරුද්දේ එය ක්‍රීඩාවක් විය යුතුය. රටට හානිකර මිනිසුන් පිටු දකින්නට ඔබ ක්‍රියාකරනවා යනු ඔබෙන් රටට හානි වීමට ඇති ඉඩකඩද ඇහිරීමකි. එසේ නොමැතිව කිසිවකු විසින් ඔබේ යුතුකම ඉටු කරන තුරු බලා හිඳීම ම යුක්ති භංග මජර සමාජයට, ආණ්ඩු වලට ඔබ යට කර දමා යාමට ඉඩ දීමකි.

මේ බැලුන් සිදුරු කර දුෂිතයින් බිම හෙලන්නට අසමත් ජනතාවකට සූප්පුවක් කටේ ගසා ගෙන ව්‍යාජ නැළවීමක් තුළ සදාකාලික නින්දක් දක්වා වුව ගමන් කළ හැක. ඒ නින්ද ගජ මිතුරු දූෂිතයින් සමඟ එක්ව සවාරි යන්නට හීන දකින මජරයින්ගේ පරම පැතුමකි.

අවුරුදු කෑම වෙසක්, පොසොන් සැමරීම, නත්තල් සංස්කෘතික උත්සව අස්සේ හැමදාම ඉදිරියට ගොස් ඇත්තේ පාලකයින් විසින් පෝෂණය කළ රට බංකොලොත්භාවය දක්වා දක්කා ගෙන ගිය වත්මන් මජර දේශපාලන සංස්කෘතිය පමණි.

(දූෂිත ගජමිතුරු හොරුන් යනු අදින් කල් ඉකුත් වන ගම් සබාවක සිට ඉහළ මන්ත්‍රී මණ්ඩල, විධායකය දක්වා ඔවුන් හා එක්ව හෝ පසු පසින් හිඳිමින් තමන්ගේ ව්‍යාපාර, ව්‍යාපෘතීන් සඳහා විවිධ අනීතික සහයෝග ලබා ගනිමින් විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් රටේ යහ පැවැත්මට හානිකරමින් රට බංකොලොත් භාවයට පත් කිරීම සඳහා දීර්ඝ කාලීනව දායක වෙමින් රටේ සාමාන්‍ය ජනතා අයිතීන් අභිබවමින් සමාජයේ අති විශේෂ සමාජිකයින්, පුද්ගලයින් ලෙස ක්‍රියාත්මක වෙමින් ගොට්ටන් එහෙයියන් ආදී පිරිසක් සමාජය තුළ ස්ථාපිත කිරීමේ මෙන්ම මේ මජර සමාජ සංස්කෘතිය නිර්මාණයේද මූලික ම තැරැව්කරු, සාධකය සේම සමාජයේ ඉදිරි ගමන හරහා ඇති මහා බාධක සජීවීකරණයයි.)

No comments: