Friday, March 10, 2023

by එහෙයියා (එහෙයියා~ව)

මෙරට විසූ සහ අදටත් වෙසෙන සත්ගුණවත් යුක්ති ගරුක සාධාරණ පාලකයින්ට එදා මෙදා බාධා කරන උන් නොවන්නට අද අප සියල්ලෝ කේතුමතියක වසන ප්‍රීතිමත් මිනිසුන්ය. 
ඉතා යහපත් පාලකයින් අදූරදර්ශී අයහපත් තීරණයන්ට පොළඹවා ඇත්තේ මේ බාධා කරුවන් ය. ඉතා යහපත්ව පැවති දේශපාලනය අයහපත් මාර්ගයට ඇද දමා ඇත්තේ මේ බාධාකාරී ජනතාවය. ඇත්තෙන්ම ඔවුන් පහර දී එලවා දමා සත්ගුණවත් දේශපාලන ප්‍රභූන් රැක ගැනීම රාජ්‍යයේ ආරක්‍ෂකයින්ගේ වගකීමය. රටක වැදගත්ම පිරිස රටේ පාලනාධිකාරිය හොබවන දේශපාලකයා ය. ජනතාව විශේෂයෙන් අරගලකාරී ජනතාවක් නොව රටක දියුණුවට ඇවසි රටේ පාලනාධිකාරිය ප්‍රශ්න නොකරන ජනතාවකි. කොටින්ම කීවොත් එහෙයියන් පිරිසකි. පාලකයාගේ යහපත් සිත මුදු මෙලෙක් වන්නේ එවිටය. 
ගත සිත නොරිදවා , කී දේ කර දෙවා , බැති පෙම් උපදවා , වැඩ කර ගනිව් රජුට වැඳලා යනුවෙන් අතීතයේ ප්‍රබුද්ධ කවියෙක් පවසා තිබුනේ නිකම් නොවේ. නමුත් මෝඩ ජනතාවකට එය නොවැටහීම රටේ ඛේදයකි. 
විධායක බලයක් හොබවන ආන්ඩුවකට ව්‍යවස්ථාදායකය බලයත් තමන්ට අවශ්‍ය ආකාරයකට හැසිරවිය හැකි නම් ඔවුන්ට අති මහත් බහුතර ජනතාවක් මෝඩ අරගල කළ ද 
එලක් නැත. එබඳු විටෙක විචක්සන පාලකයින් කෙසේ හෝ අප රට තව කලකින් ලෝකයේ ඉහළම තැනකට ගන්නා බව අවිශ්වාස නොකර හිඳීම ප්‍රමාණවත් ය. ඊට හේතු උවමනා නැත. ජනතාවගේ වගකීම ඔවුන්ට ඉඩ දී බාධාවකින් තොරව ඔවුන්ගේ කටයුතු කිරීමට ඉඩ හැරීම ය. ප්‍රශ්න නොකර ඔවුන්ට සහයෝගය දීමය. එහිදී තම ජීවිත පැවැත්මට මුල් තැන දීම වැරදිය. රාජ්‍ය පාලකයා පළමු තැන තැබිය යුතුය. මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් බලවත් ඔවුන් යන්නය. එබැවින් තමාගේ දුර්වලතාව තේරුම් ගෙන අරගල නොකොට පාලකයා කරන සියල්ල ගුණ යහපත්කම් ලෙස දකින්නට හුරු වීම රටක පොදු ජනයා බුද්ධිමත් වීමක් ලෙස අර්ථ විග්‍රහ කොට ගැනීම කිසියම්ම ලෙසකින් ලජ්ජා වීමට හේතුවක් ඇති දෙයක් නොවේ.
ඔබ කිසියම්ම ලෙසකින් පාලකයාගේ සදොස් බව ප්‍රශ්න කළ ද තමා සතුව බලය පවතින තෙක් ඔහුට උවමනා පරිදි එය නොසළකා ක්‍රියා කළ හැකිය. එබැවින් මෝඩයෙක් වෙන්නට එපා! විවිධ අයියන් මැද ඔබ අඩු තරමින් එහෙයියන් ගොඩවත් නියෝජනය කළ යුතුමය. මේ සත්ගුණවත් රාජ්‍යයේ පරම සේවකයෙකු නම් ඔබට ඒ සඳහා බාධා තවත් අවමය. 

No comments: