Wednesday, August 15, 2018

ශුද්ධ කරපන්න හද - ලංකා

ඇහැට පෙනෙන පමණින්ම වුව, පිරිසිදු වූ සියල්ල අපිරිසිදු වෙයි. අපිරිසිදු කෙරෙයි. චුල්ල පන්ථක අත වූ රෙදි කැබැල්ල පිරිමැදීමෙන් අපිරිසිදු විය. කාර්මීකරණයෙන් පසු සීග්රයෙන් ගගන දෙරණ අපිරිසිදු වන්නට විය. මිනිසාගේ ආයුෂය විද්‍යාවේ මුක්කු වලින් දිගට දරා සිටියත් බෝ නොවන රෝග, පිළිකා වලින්  තක්කු මුක්කු වීම දිනෙන් දින වැඩිවෙයි. මානසික පීඩාව උග්‍ර වෙයි. පීඩනය වැඩි වෙයි. පිරිසිදු ජීවන රටාවක් තව දුරටත් ඇත්තේ නැත. අපිරිසිදු වූ අප හැම කාලයේ ආකාලයේ රස්තියාදුවකය. දේශපාලනික මිතුදම හරහා ලද බුදුන්ගේ ධර්මය දේශපාලනික භාවිතාව තුළම අපිරිසිදු කර ඇත. පිරිමැදීමෙන් අපිරිසිදු වුනු රෙදිකඩ සේ භාවිතයේ ස්වභාවයෙන් අපිරිසිදු වන ජීවිතය ගැන තේරුම් ගෙන ඉන් මිදීමේ මගක් කියාදුන් බුදුන් අපට කීවේ සාංසාරිකවම අපේ රස්තියාදුවෙන් අප මුදවන මගය. නන්නත්තාරව ජීවිතය සොයා ගත නොහැකිව රස්තියාදු වුනු බොහෝ දෙනා උන්වහන්සේ විසින් ඒ අනවරත රස්තියාදුවෙන් මුදවාගන්නා ලදී. බුදුරඳුන්ගේ මහා පෞරුෂය හදවතේ ගැඹුරට ගත් කිසිවෙකු දේශපාලන හෝ වෙනත් ළාමක තර්ක මත උන්වහන්සේගේ ධර්මය පටලවා නොගනී. බුදුන් දෙස බැලිය යුත්තේ උන්වහන්සේ පවසා ඇති පරිදිම ධර්මය තුළින් මිස බියර් බෝතලයක් හා සිගරට් දුමක් මැද්දෙන් නොවේ. තමන්ට තමන්ව විග්රහ කරගත නොහැකි තරමට අපිරිසිදු වුණු අපි පට්ට ගසමින් ලෝකය ධර්මය නානා ශාස්ත්‍ර විචාරමු. එබඳු විචාර දර්ශන වාද තුළින් යමක් අසු නොවෙනවා නොවේ. පරමාණුව බිඳ බලශක්තිය නිපදවන්නට හැකි සේම එයින් ලොවම මොහොතකින් නසන්නටත් හැක්කේ ඒ විද්‍යාව තාක්ෂණයක් මිස සැබෑ ඥානයක් නොවෙනා බැවිනි. දැළිපිහි දැනුම අවබෝධයෙන් තොරය. අපිරිසිදුය. ලෝකයේ ස්වභාවයද ගතිකය. සත්වයාද ඇතිවී නැතිවී යයි. එන්නේ කොහෙන්ද යන්නේ කොතැනටද භෞතිකව සිතා කටයුතු කිරීම පමණක් සෑහෙන්නේ නම් ලෝකය පිළිබඳ ගැටළුව බොහොම සරල  එකකි. බඩෙන් ඇවිත් කනත්තෙන් ඉවර වෙනවා නම් සියල්ල අපේ පංචේන්ද්රියන්ට හසු වෙනවා නම් ලෝකයට මෙතරම් උපකරණ උවමනා ද නැත. එසේ උපකරණ අදත් නිපදවෙනවා නම් එහි අරුත එකවර අපේ පංචේන්ද්රියන්ට හසු නොවන තවත් කොතෙකුත් දෑ පැවතිය හැකි බවය. බුදුන්ගේ ඥානය විමසීමට අප භාවිත කරන්නේ අපූරු නිර්ණායකය. හොඳට පදමට මොළය මත් කර අපි ධර්මය විචාරමු. එසේ නොවන අවස්ථාවන් ගැන කීමට ඇත්තේ අයින්ස්ටයින්ගේ ඥානය සේ බුද්ධ ඥානය නොසැළකිය යුතු බවයි. තවදුරටත් කීවොත් ඇපල් ගෙඩිය ඔලුවට වැටීමෙන් නිව්ටන්ගේ චින්තනය අවදිවීමත් සතර පෙර නිමිති දැක බෝධිසත්වයන් සිදුකළ අභිනිෂ්ක්‍රමණයත් කිසිසේත් සමාන නොවන බවයි. බුදුන් ගැන ඉඳුරා කිව හැකි තවත් බුදුවරයෙකුට පමණක් බව බුදුරඳුන් ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර මුල් තැන සිටි සැරියුත් තෙරුණට පැවසුවා නම් අපේ ප්රමාණයෙන් බුදුරඳුන් ගැන තීරණය කිරීම අපටම බාරය. ලෝකයේ සුපිරිම පරිගණක සමහරවිට ඇත්තේ එකකි? බොහෝවිට තවත් එවැනි එකක් නැත. එය සරල කතාවකි.
එසේ වූ පමණින් තමන් අවබෝධ කොටගත් ගැඹුරු දහම අපටද අවබෝධ කරගත නොහැකි බව උන්වහන්සේ කීවේ නැත. දක්ෂ ගුරුවරයා යනු තමන්ගේ අවබෝධය සිසුවාගේ පමණට ගලපා දිය හැකි තැනැත්තාය. සම්මා සම්බුදුු ලෙස උන්වහන්සේ හැඳින්වෙන්නේ එබැවින්ය. විද්‍යාව විග්‍රහ කිරීමට විද්‍යාවේ පද තිබේ. ඒවායේ අරුත බැඳෙන්නේත් විද්‍යාව විග්‍රහ වන තැනටයි. ධර්මයටත් එසේමය. බුදුන් හෝ උන්වහන්සේ සම්බන්ධ කරුණු සමහරක් වෙනත් වචන වලින් විස්තර කිරීමම අදටත් අපිරිසිදු කරගෙන ඇති ධර්ම විග්‍රහ තවත් පටලවා ගැනීමකි. ගැඹුරේ අත පතගාන්නට හදන බොහෝ දෙනාට බුදුන්ගේ ධර්මයේ ඇවිත් බලන්නට කියා කියන තැනම ඇති ගැඹුර නොපෙනේ. ත්‍රිලක්ෂණය, හේතු ඵල දහම, චතුර්ආර්ය සත්‍යම නුවණ ඇත්තෙකුට නම් සෑහෙන සෑහිමකි. තව දුරටත් සත්‍ය සොයා බුදු නුවණ ලබා ගැනීමට අවැසි තැනැත්තාට බුදු බව දක්වාම යෑමටත් උන්වහන්සේ මග කියා ඇත. නමුත් සත්ය අවබෝධය යනු බුදු නුවණ නොවේ. සත්‍ය අවබෝධය යනු ලෝකයේ සැබෑ තතු සත්වයා පිළිබඳ සැබෑව අවබෝධ කොටගෙන කළ යුතු දෑ කිරීමයි. එය හඳුන්වා ඇත්තේ නිවන යනුවෙනි. අනියත ලෝකයේ සසරක සැරිසරන සත්වයා ඉන් මිදී යාම සරලවම නිවන යි. සම්මා සම්බුද්ධත්වයෙන් මෙපිට ඒ අවබෝධය ලබාගත හැකි අයුරුත් බුදුරජාණෝ දේශනා කළෝය. ඉතිං ඒ වන් උතුමෙකු වෙත පහන් සිතින් වන්දනා කිරීම හෑල්ලුවක් වන්නේ රැජිණගේ නම්බුවෙන් සර් නාම ගත් අයටද? නැත්නම් සහතික කොළයකින් පදවි නාම ගත් අයටද? එහෙම දෙයක් නැත. උඬගු කමින් උද්ධච්ඡ වී තවත් අපිරිසිදු වීමට පෙර බිඳක් සිතිය යුත්තේ බුදුන්ගේ දහම නොතිබෙන්නට අප ලෝකය ජීවිතය පිළිබඳ සොයා තවත් කොපමණ නම් රස්තියාදු යන්නට තිබුණාද යන්නයි. අවසන කියන්නට ඇත්තේ මා වැනි සාමාන්‍ය මිනිහෙකුට නම් බුදුරඳුන් යනු ඥාන උල්පතක් බව පමණය. සකළ ලෝකයේම සැරුවද රස්තියාදු වුනද නොලැබෙන යථා අවබෝධය තමා තුළින්ම අවබෝධ කරගන්නට කියා දුන් උන්වහන්සේට වන්දනා කිරීමට ලේබල් බොදු වීමට උවමනා ද නැත. එසේ නොකිරීමට තරම් පුහු ලේබල් රැඩිකල් හීන මානයට ගොඳුරුවීමටද මට නම් උවමනා නැත.
අද බොහෝ දනා සුප්රබුද්ධය, සමාජ ජාලවල පවා ඒ ඇමතීම් අප්රමාණය. එහෙව් සමාජයක අපිරිසිදුකමට රස්තියාදුවට අපි දොස් නගාගත යුත්තේත් අපටමය. ඉන් එහාට යාමට හිතනවා නම් ශුද්ධ කර ගත යුත්තේ අපේ රස්තියාදු ජීවිතයි. අවංකවම අපට අප ගැන හැබෑ හැඟීමක් නැතිතාක් අපත් රටත් පුහු රැඩිකල් රැවටිල්ලකම පමණයි.

No comments: