Tuesday, August 14, 2018

මිනිස්කමේ සවාරිය - කෘතියෙන්

තණකොළ ඩිංගක් කැපීම පිණිස කිතුලේ රස්තියාදු වුනෙමි. තණකොළ ගස මුදුනේ නැත. ඒවා දුෂ්ට මිනිසුන් විසින් කලින්ම කපාගෙන ගොසිනි. මිනිස්සු සත්තු වෙලාය. සතෙකුට කන්ට තණකොළ ටිකක් ගස මුදුනක ඉතිරි කරාම වෙන පාඩුව..ගොනා මං එනකම් බලාහිඳී. ගසේ තිබූ රා මුට්ටිය ඌ වෙනුවෙන් බිමට බෑමට තරම් මනුස්සකමක් මාතුළ නොවේ නම් මාත් සතෙක්ම තමා.
කවදාවත් නොවිඳි රසයකින් තෘප්තිමත් වු ගොනා මොහොතක් දෙකකුලෙන් සිට ගති. උගේ අවයව, මා කියන්නේ අං ගැනය. ඒවා දිග නැත. අං කොට බැවින් අංකොටා යැයි වටේ අය මූට කියතත් මං කීවේ "මචං" කියාය. මචං මට කතා කරන සතෙකි. ඌ මට මනුස්සකම ගැන බොහෝ කතා කියා තිබේ.
ඉතිං මචං කකුල් දෙකෙන් අපි ගහමු රස්තියාදු.. අපි දෙන්නා එකට ආහාර ගෙන දෙකට දෙපැත්තේ වැතිර ගතිමු. මට අහස පෙනේ. මචං හොම්බ දික් කරන් බලාසිටී. ඒ බලන්නේ මං දෙසය. ඒ බැල්ම සැබවින්ම රැඩිකල්ය. මචං වමාරා කන්නේ තප්පුලන්නේ හොම්බ දික් කරන්නේ රැඩිකල් කතා අහන්නට ඕනෑ වූ විටය.
මං ඌට කතාවක් කියමි. ඒ මිනිසුන් ගේ දුෂ්ට කම් ගැනය. කුරිරුකම් ගැනය. මා හැර අනිත් උන්ගේ හදවත් ගැහෙනා හැටි මම ගොනුට කියමි. ගොපළු අවතාරය බොරු බවත් රන් කෙවිටක් නැති බවත් මම කියමි.

No comments: