Wednesday, July 4, 2018

පී..කේ...

මිනිස්සු කියන්නෙ එක්තරා දියුණු සත්ත්ව කොට්ඨාශයක්. ජීවත් වෙන මහද්වීප අනුව රටවල් අනුව මිනිසුන්ගේ බාහිර ස්වරූපයේ සුළු සුළු වෙනස් කම් තිබෙනවා. සමේ, පැහැයේ, ඇසේ, නාසයේ, උසේ, මහතේ එනම් ශරීර ප්රමාණය මත ආදී වශයෙන්. ඒවා බොහෝකොට පරිසර සාධක හා ආවේණිය ඔස්සේ ප්‍රවේණි ගත වූ සාධක. එමෙන්ම භාවිතයන් අතින්ද ඔවුන්ගේ වෙනස්කම් තිබෙනවා. එහිදී ප්‍රධාන වන්නේ භාෂාව. ඔවුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරගන්නේ කට හඬ මුල් කරගෙන වැඩි දියුණු වී ඇති ඒ භාෂාව නැමති මාධ්‍ය ඔස්සේ. එවැනි වූ භාෂා සුවිශාල ප්‍රමාණයක් මිනිසුන් අතර තිබෙනවා. රටින් රටට මේ භාෂා වෙනස් වනවා සේම එකම භාෂාව විවිධ රටවල ප්‍රචලිත වී ඇති අවස්ථාව තිබෙනවා. ඊට අමතරව එකම රට තුළ එකම භාෂාවේ විවිධ ප්‍රභේද සේම එකිනෙකට වෙනස්ම භාෂාවන්ද භාවිත වෙනවා. ඉන් සමහර භාෂා ඉතා දියුණු තත්වයේ පවතින අතර භාෂාව කටහඩින් තොරව භාවිත කළ හැකි ක්‍රමවේදයන් මිනිසුන් අතර තිබෙනවා. එය භාෂාව සටහන් තබන ක්‍රමයක්. ඒ සඳහා ඒ ඒ භාෂාවට අදාළ නීති රීති පද්ධති තිබෙනවා. මේ භාෂාව මිනිසාගේ දියුණුවට සේම විනාශයටද බලපා තිබෙනවා. රටක රාජ්‍ය භාෂාව ලෙස භාෂාවක් නම් කිරීමේ සිට මේ බසෙන් රට ගැන කීමට තැනූ ගායනා විලාශයක් වන 'ජාතික ගී' ගායනයේදී පවා භාෂා ප්‍රශ්න මතුවිය හැකියි. විශේෂයෙන් භාෂා කීපයක් එකම රටක භාවිත වන විට එය මේ ගැටුමට හේතුවෙනවා. තවත් හේතුවක් වන්නේ මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස දැනුම සියළු දේ මේ භාෂාව ඔස්සේ සන්නිවේදනය වීමයි. එතුළ මේ සියල්ල ඒකාබද්ධව සැකසෙන සංස්කෘතිය නැමැති සමාජ පැවැත්මේ වැදගත් සාධකය ඉස්මතු වීමයි. එනිසා භාෂාවෙන් ඇතිවන අවහිරය නවතින්නේ සංස්කෘතියෙන්. ඒ අවහිරය ගැටුම් යුද්ධ දක්වා වර්ධනය වූ අවස්ථා තිබෙනවා. නමුත් දියුණු ලෝකයේ තාක්ෂණය නැමති සාධකය මත අද වන විට මිනිසා වඩාත් ප්‍රචලිත භාෂාවන් ඔස්සේ පුළුල් සන්නිවේදනයකට ප්‍රවේශය ලබා මිශ්‍ර සංස්කෘතීන්ට ගමන් කර තිබෙනවා. එහිදී දියුණු මිනිසා වටහාගෙන ඇත්තේ අනවබෝධය අවබෝධය තුළින් ජයගන්නටයි. ඒ සඳහා වන මෙවලමක් ලෙස උහු තාක්ෂණය භාවිත කරනවා. අන්‍ය සංස්කෘතික අවබෝධය මෙන්ම ඇගැයීමටත් රසවිඳීමත් ඔස්සේ එකිනෙකා සමීප වීම මෙතුළ සිදුවනවා. තමාට සමාන මූලික අවශ්‍යතා, සමාන හැඟීම් දැනීම් පද්ධතියක් අනෙකා සතු බවත් භාෂාව හෝ සංස්කෘතිය පරිසරමය සාධකයක් බවත් අද මිනිසා හොඳින්ම දන්නවා. නමුත් තවමත් ඈත එපිට රටවල විවිධ ජනකොටස් අතර මේ භේද පවතිනවා. ලෝකයේ දියුණුයැයි කියන රටවල පවා නොදියුණු මිනිස්සු සිටිනවා. නොදියුණු රටවල දියුණු මිනිස්සු සිටිනවා. ජානමය සාධක මත මිනිසුන්ගේ බුද්ධියේ අවබෝධයේ පවතින වෙනස්කම් සේම හැඟීම් දැනීම් පද්ධතියේ ඇති අසීමිත සංස්කෘතිමය බන්ධනයක්ද මේ නොදියුණු කමට හේතුවනවා. මේ නොදියුණු කම දැනුම හරහා යම් මට්ටමක් දක්වා දියුණු කළ හැකියි. ඒ සඳහා අද සමාජයේ බොහෝවිට භාවිත වන්නේ දැනුම අවබෝධය කරා සමාජගත කිරීමේ විධිමත් ක්‍රමවේදයක් වන අධ්‍යාපනය. මෙය විධිමත් ලෙසින් මෙන්ම අවිධිමත් අංශයකින්ද යුතු වනවා. අද අධ්‍යාපනය ආපසු අකුරට යන්නට උත්සාහ කරන විට අපට අධ්‍යාපනය සඳහා මෙවැනි අවිධිමත් අංශ භාවිත කිරීමට සිදුවෙනවා. මිනිසුන් තම පාලන කටයුතු වෙනුවෙන් පත්කර ගන්නා නියෝජිතයන් ඔවුන් කරනා දේශපාලනය ඒ උදෙසා පැවැත්වෙන ඡන්ද මේ සියල්ලට අධ්‍යාපනයෙන් දෙන අවබෝධය බලපෑම් කරනවා. එම නිසා ඒ හරහා මිනිසාගේ නොදියුණු ලක්ෂණ දියුණු තැනකට එසවීම රටවල සංස්කෘතීන්ගේ නොදියුණු ලක්ෂණ වලින් දේශපාලනය කරනා නියෝජිතයන්ට ගැටලුවක්. භාෂාවෙන් සන්නිවේදනයෙන් විසඳා ගත හැකි සරල ගැටළු වර්ණවත් කර සංස්කෘතිය දක්වාත් අවසන ජාතීන් වශයෙන් වෙන් වීම් දක්වාත් ගෙන යන්නට මේ දේශපාලකයන්ගේ දේශපාලනයට හැකියාව තිබෙනවා. ඒ සියල්ලට නොදියුණු මිනිස් ලක්ෂණ, සංස්කෘතිමය බන්ධන වල සිට නොයෙක් වර දාන ලබාදීම ඔස්සේ තමන්ම ගොඩනැංවූ විවිධ සමාජ කණ්ඩායම්ද ඔවුන් භාවිතයට ගන්නවා. මිනිසාගේ දියුණුව ආපසු හැරී ලෝකය විනාශය කරා පන්නන දක්කන තත්වය නිර්මාණය වන්නේ එතැනින්. මිනිස්සු කියන්නෙ 'එක්තරා' දියුණු සත්ත්ව කොට්ඨාශයක් කියා මුලින්ම සඳහන් කෙරුණේ මේ නිසා. ඒ 'එක්තරා' කොටසේ ඇති ගෝත්‍රිකත්වය අභිබැවෙන තත්වයේ සිහියකට එනතෙක් මිනිසා යනු ලෝකයේ දියුණුම සත්වයා නොවේ.

No comments: