Sunday, May 22, 2022

අරගල නොකර උරගල ~ රටේ හෙට කොයිබට : ? (ශ්‍රී ලංකා මාතාව කියන ඥානමාතා නොකී කතාව)

අපේ ආදරණීය මව් බිමේ මෑත පාලන ක්‍රමවේදය 'මහසෝන්' වූයේ කවදාදැයි කීමට මම නොදනිමි. නමුත් මතුපිටින් දේවාලයක් කොට පුද පූජා කළද අද වන විට ක්‍රමයේ මහසෝනා එළියට පැන ඇත. අතීතයේ ඉටු කළ කාර්ය බාරය හැරුණු කොට වර්තමානයේ කිසිවක් කර කියා ගත නොහැකි ගෝඨාභය මහතා රටට එක දෙයක් කළේය. එනම් මහසෝනා හා සටනට වැද මහසෝනාගේ හිස කඳින් වෙන් කිරීමට සමාජයට ඉඩ දීමය. දැන් හිස නැති මහසෝන් කඳ ~ කවන්ද ක්‍රමය ~ තිබෙන්නේය. ඊට සුදුසු හිස බද්ධ කොට විකෘතිය ප්‍රකෘති තත්වයට ගෙන ආ යුතුය. එනම් නිවැරදි, පැහැදිලි, ශක්තිමත් ක්‍රමවේදයක් බිහි කිරීමයි. නමුත් ගෝඨාභය මහතා නොකරන්නේ ඒ වැදගත්ම ටිකට දායකත්වය නොදීමයි.

හිසක් නැති ක්‍රමයක් තුළ ලංකාවට පැවැත්මක් නැත. වැඩි ජාතක ඕනෑ නැත. ඒකට උම්මග්ග ජාතකය ඇති ය. උපක්‍රමික සැලසුම් නැතිව පැවැත්මක් රටට නැති ය. තාක්ෂණය හා චින්තනය වේගවත් සමාජයක උපක්‍රම යනු තවදුරටත් සතර කන් මන්ත්‍රණ හෝ තොරතුරු සැඟවීම නොවේ. කලු කඩ හෝ ඩීල් හෝ නො වේ. පවතින දියුණුව හා වේගයම තම සවිය කොට ගැනීමයි. ප්‍රතිවිරුද්ධ බලය ම අවිය කොට ගැනීමයි. ගෝඨාභය බලය තිබියදීත් අදටත් එම අවිය අතට ගෙන නැත. හේතුව ඔහුට කාවින්ද දේවින්ද පුක්කුස හා සේනක හිටියත් මහෝෂධ කෙනෙක් නැති නිසා ද ? රනිල් අගමැති කේවට්ටයෙකු දැයි මා දන්නේ නැත. ඔබේ අඩ පණ වියත්මග කුමක්දැයි මා දන්නේම නැත.
රටේ භාණ්ඩාගාරයේ ස්වං ආරක්ෂනය සඳහා ප්‍රමාණවත් ඉතිරියක් නැත්නම්, අපට නැති වීමට තවත් එතරම් දෙයක් නැත්නම් නැවත ගොඩ නැඟීමක් උදෙසා වේගවත් සටනක්, ඒ සඳහා සැළසුමක් නැතිව අපි තවත් කුමක් කරමුද?
හරි මතයකට එකඟ කළ හැකි බුද්ධිමත් ජනයා වැඩි බහුතරයක් සිටින මේ රටේ ජනතා බලය වරප්‍රසාදයක්, දේව වරමක්, කර්ම ඵලයක් සේ සලකන මහින්දට වෙනස්ව හිතන්නට ගෝඨභයත් බියය. ජනතා බලය ශක්තියක් කොට පෙන්වූ අරගලය උරගලක් කොට පාඩමක් ඉගෙන ගන්නට තරම් සහෘද මනසක් තවමත් ඔහුට නැත. තම දේශපාලනය උදෙසා මේ අවස්ථාව භාවිත කරන දේශපාලකයා අභිබවා රටට පුනර්ජිවයක් උදෙසා මේ අවස්ථාව හසුරවන්නට තීරණ ගන්නට ඔහු දුරටත් බිය ය. වැරදි අවස්ථා වල ගත් ස්වං තීරණ වල අසාර්ථකත්වය තුළ තවමත් හෙතෙම පීඩාවෙන් ය. මේ පීඩාවෙන් තමාට මිදීමට හැකි එකම මග දුෂ්කර සමය පසුවන තුරු රැඳී හිඳ සාමාන්‍ය තත්වයකට රට ගෙන එ්මයයි ඔහු සිතන බව පෙනේ.
පැය විසිහතර ක්‍රියාත්මක වෙන ගෝල් ෆේස් අරගලයේම මග ගනිමින් තමන් හොඳට ම කළ කෝවිඩ් අත්දැකීමෙන් උගනිමින් ම පැය විසි හතරම ක්‍රියාත්මක විවෘත ආර්ථික ආපදා කළමණාකරන මෙහෙයුම් මධ්‍යස්ථානයක් හදන්නට ඔහුට හැකියාව තිබිණි. අද රට තිබෙන්නේ ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික ආපදාවක නම් ඉදිරියේදී තවත් ආහාර අර්බුධයක පෙරනිමිති පවතින්නේ නම් අප දැන් පැය විසි හතරම සුදානම් විය යුතු හා මුහුණ දිය යුතු හා පුමුඛතවම අත ගැසිය යුතු දැවැන්තම කාර්ය භාරය එය නොවේ ද? සියලු කාර්යන් ඒකාබද්ධතාවයකින් යුතුව කළමණාකරනය නොවීම නිසා මේ තාක් වන අපතේ යාම්, නාස්ති වීම හා විනාශ වීම් මේ මොහොතේ සහ ඉදිරියට තවත් බරපතළ බලපෑම් වනු නැතිද?
ඉන්ධන වල සිට විදුලිය දක්වාත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයේ සිට එළවලු පළතුරු ටික දක්වා මෙන්ම මේ මොහොතේ නිවරද වශයෙන් සන්නිවේදනය විය යුතු දත්ත හා තොරතුරුත් දක්වාත් සමස්ථ පද්ධතියක වැදගත් කම කොතරම්ද? එහි වගකීම් ගන්නවා හැර තව දුරටත් අස්ථාවර රාජ්‍යයක රාජ්‍ය පාලනය මෙහෙය වීම සතර කන් මන්ත්‍රණයෙන් කළ හැකි දෙයක් ද? ජනතාව විවෘත අවංක මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගෙන යන්නේ කෙසේද?
මහ ජනයා සමාජ මාධ්‍ය තුළ දේවාල, අංජනම්, සාස්තර බලමින් හෙට වෙන දේ, රටේ ගමන් මග පිළිබඳ තීරණ සෙවිය යුතුද?
ඔබට හැංගී හැංගී බැඳීමට තවත් වෙස් නැත.
ආහාර
සෞඛය
කෘෂිකර්මය
බලශක්තිය
නිෂ්පාදන
සේවා
අධ්‍යාපනය
මේ හැමදේම ආර්ථීකයයි. මේ හැම දේම මහජනයාගේ පැවැත්මයි. එලෙසම නැවැත්මයි. මේ ආදී කොට ඇති සියල්ල  අමාත්‍යංශ නම් ඒ සියල්ලේ ඒකාබද්ධතාවය හැදීමත් කෙටි කාලීනව මහජනයා සමඟ සහයෝගයෙන් මේවායේ කාර්ය ඉදිරියට ගෙන යාමේ වැඩ පිළිවෙලක් හැදීම මේ මොහොතේ අත්‍යවශ්‍ය ය. වගන්ති සම්ප්‍රදායන් තුළ තමන් විලංගුලා රටටත් මහජනයාටත් විලංගු දැමීමෙන් අප සියලු දෙනාට සාම්ප්‍රදායික නොවන මරණයකට නම් උරුම කම් කීමට හැකි වනු ඇත.
මේ ඒ සම්ප්‍රදායට පයින් ගැසිය යුතු මොහොතයි. කොපමණ යුද්ධ කළත් ඔබට අද මේ මොහොතේ මේ සාම්ප්‍රදායික බෝඩරය සමාජීය අවශ්‍යතාව මත යුග පරිවර්තන අවශ්‍යතාව මත පවා අතික්‍රමණය කළ නොහැකි නම් කිසිසේත්ම අපට දෙපයින් හිට ගැනීමේ අදහසක් හෝ රටේ ඉදිරි යහ පැවැත්මක් ගැන කල්පනාවක් එතැන නැත.
ඉදින්, ජනතා සහායෙන් තොරව රටට ඉදිරි ගමනක් ද නැත. අඩු තරමේ ඔබ ඉවත් වන දිනයක් දක්වා හැම දිනකම හැම පැයකම මහ ජනයාට තමාගේ හෙට දිනය ගැන කතා කරන මෙහෙයුමක් රට තුළ තිබිය යුතුමය. එය මහජන බලයෙන් ශක්තිමත් විය යුතු ය. ඊට වෙනත් විකල්ප නැත. සියල්ලෝ ඔබ යටතට නොව එක මගකට ගත නොහැකි නම් තව දුරටත් එතන රටක් කොයින්ද?
වෙදදුරන් රෝග හදන්නේ නැත. ඔවුන් දෙන්නේ රෝග නිධානයට බෙහෙත යි.
රටක නායකයන් අර්බුධ නිර්මාණය කළ යුතු නැත. ඔවුන් කළ යුත්තේ අර්බුධයන්ට විසඳුම් ලබා දීමයි.
වෙදදුරාගේ ප්‍රමාදය රෝගය උත්ස්සන්න වීමටත්, සමහරවිට රෝගියා මරණයට පත් වීමටත් හේතු වන්නට පිළිවන.
රටේ නායකයාගේ ප්‍රමාදය රටේ අර්බුධ උත්ස්සන්න වීමටත් රටේ විනාශයටත් හේතු වන්නට පිළිවන.
ඔබ මේ ඉඩ දෙන්නේ කපුටු ගමනටද? මහජන මතයටද ?
වාසනාවටද? උස්සාහයටද?
අවාසනාව සහ විනාශයටද?
1.මේ ගෙවෙන්නේ අපගේ ජීවිතවල වටිනාම අවසන් තත්පර කීපය විය හැකියි !
2. මේ කඳුළු අවසන ඇහැට ගෑස් නැතිවම අප කාටත් කඳුළු බොන්න වෙනු ඇති !
3.තවදුරටත් මේ සමාජය දේශපාලනිකව විහිළුවක් කර ගන්නට රටක් ඉතිරි නොවනු ඇති !

No comments: