Thursday, May 12, 2022

පිස්සුද හැටිද ! ~ ! ඒ අපේ ...(කට ප්‍ර බලය, හිත දු බලය)

රටේ මේ තරම් දේවල් සිදු වෙද්දී දේශපාලන නායකයින් කියා ගන්නා මිනිසුන්ට කොන්දේසි වලින් එහා එකඟතා නැතිද? 

ඉහළම පූජ්‍ය පක්‍ෂයේ සිට මහමග යාචකයා දක්වා සියළු වෘත්තිකයෝ, ශිෂ්‍යයෝ, උගත් නූගත් රට වැසියෝ කියන්නේ කුමක්ද?

අත්‍යවශ්‍ය සියල්ල සීමාකාරී වෙමින් යයි.

අවසන ගෝඨාභයගේ හිතේ ඇති දේ දන්නේ ඔහු ම පමණි. අප වැනි සාමාන්‍ය මිනිසෙකු නොවන තවමත් රටේ නායකයා වන ඔහු බොහෝ ප්‍රමාදවූවා වැඩී. 

දැන් ඒ පමා වේ එල්ලී අපි තවත් කොපමණ පමා වෙමුද?

ඔහුගේ වරදටම එක් වී අපත් වරද්දා ගන්නවා ද?

කෙටි කාලීනව ගත හැකි අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ග නොපමාව ගත යුතු නොවේද?

ඔහුගේ ඉල්ලා අස්වීමේ එල්ලී විපක්ෂයේ පක්‍ෂ වගකීම කල් දමති. 

පැවති ආණ්ඩුවේ ස්වාධීන වූවා යැයි පවසන පිරිස් විවිධ නායකත්වයන් යෝජනා කරමින් කල් මරති.

සියල්ලෝ ම කල් බලති. යෝජනා දමති. කවදා වන තුරුද ඒ?

කුමකටද ඒ?

අත්‍යවශ්‍ය සියල්ල තවදුරටත් සීමාකාරී වෙමින් යයි.

මෙහෙන් නොනවතින අරගලයකි.

සකි,

මහ බැංකු අධිපතිවරයාත් සිය තනතුර අත්හැර දමා යන තෙක් ම අපි හැම කල් බලමුද?

හිටපු අගමැති රටම ගිනි තබා ගියේය.

ජනපති තීරණයක් ගන්නට ඉන්නේ කුමකින් කුමක් වූවාට පසුව දැයි දන්නේ ඔහුම පමණි.

ඔහු නැවත සොරි කියනු ඇත.

දැනටමත් රටේ ආර්ථිකය ඔස්සේ අනාගතයට සොරි වී ඇති බව මහ බැංකු අධිපතිවරයා දැන් අවධාරණය කර ඇත්තේ වරක් දෙවරක් ද?

මේ මහජන නියෝජිතයින් කියනා මිනිසුන්ගේ සති ගණනාවක හැසිරීම කුමන නම් පිස්සුවක්ද ? ඒ ඔවුන්ගේ හැටිද? සියළු දෙනා තම වගකීම් වලින් මිදී මහජන නියෝජිත කම් අතහැර ගෙදර හිඳීම මේ කොන්දේසි මත නැහීමට වඩා හොඳය. දැන් කියා මහ වෙනසක් තිබේද? අද රාත්‍රී ජනපති විශේෂ ප්‍රකාශය මේ රටට විසඳුමක් ගෙනෙන තැනකට නතු කර නොගන්නේ නම් ~ හැම ගේ කැපවීමක් නැත්නම් මේක පිස්සුවක්ම පමණි.

නහයෙන් උඩටම වතුරේ ගිලුණාට පසු ටික වේලාවක් හුස්ම පවතිනු ඇති. ඉන් පසු සියල්ලන්ටම ඒ උමතුව තුළ සතුටින් විනාශය අත්දකින්නට හැකි. රටේ උන්ට පිස්සු හා ඒ අපේ හැටි බව අවට ලෝකයා එවිට තහවුරු කර ගනු ඇති.

No comments: