Sunday, June 9, 2019

තම තමා (each)

මහින්ද, රනිල්, මෙෙත්රී, ගෝඨාභය, සහ ඔය ගොන් නටම බැඳෙන 225 ට අමතරව රටේ තවත් හත් අට දහක්ද සතියේ  වැඩි දවස් ගණනක් සුදු ජාතික බැනියම් අඳිති. ලක්ෂ ගණනාවක් බෞද්ධ කිතුනු ඉස්ලාම් හින්දූන්, බුදුන්ට දෙවියන්ට ගුරුන්ට දෙගුරුන්ට වදින දෑතින්ම උන්ට වඳිති. රටට වැදගත් ඒ කිසිවෙක් නොවේ. එබන්දන්ට අමතරව තවත් ලක්ෂ ගණනක් මිනිසුන් රට තුළ ජීවත් වීමයි. එයිනුත් කාළගුණයෙන් දේශගුණයෙන් හෝ මුදල නිසා මිනිසාගේ වටිනාකම පාවා නොදෙන ලක්ෂ ගණනක් රට තුළ තවමත් ජීවත් වීමයි. තුට්ටු දෙකට තම වටිනාකම හෑල්ලු කරගත් මහා ප්‍රතිරූපධාරියෝ ඉදිරියේ වචනයකින් හෝ ඇත්ත කතා කරන වඩුවා තනන්නේ පුටුවක් මේසයක් පමණක් නොවේ. එබඳු ගුරුවරයා සිසුන්ට ලබාදෙන්නේ දැනුම පමණක් ද නොවේ. එවැන්නන්ට නිසි සමාජ වටිනාකමක්, කරළියක් ලබා නොදී බල පොරයේ සිටිනා උන් පතුරුගසා අප සතුටු වූවාට සැබවින්ම එයින් අපට අද දක්වා වැඩක් වී ඇත්නම් ඒ දශමයකි.  සිදුවිය යුත්තෙන් හරියට දශමයකි. අපේ රටේ කලාවෙන් වන සමාජ බලපෑම වාගේය ඒ දේත්.  අපි හදා ගන්නා පොඩි ඉඩකඩෙන් පහළ මට්ටමේ ජවපොදි ඉහළට ඔසවනවා තබා අපි කරන්නේ  අපේම උන්ගේ විඥානය පුළුල් කරමින් එකතැන හිඳීමයි. එක් පාර්ශ්වයක් කොතරම් පුළුල් කරගෙන හිටියත් ගණිකා මඬමේ ලැග එන ස්වාමියා මර නින්දේ නම් එතැන සුජාත දරුවෙක් බිහි වන්නට පසුබිමක් නැත. පාලිතයන් සේම පාලකයන්ද නින්දෙන් අවදි විය යුතුය. රටේ පරම්පරා ගණනාවක් තුළ සුජාත භාවයෙන් තබා සහජාත භාවයෙන් වත් යහගුණය නූපදින්නේ එහෙයිනි. ඒ බීජ කිසිදා ගර්භගත වී නැත. සැබවින්ම වඳභාවය තිබෙන්නේ එතැනය. මෙහි සැබෑව නම් මේ රටේ ජන විඥානයේ දුප්පත්කම නොවේ. හීන වීර්ය යි. ඇත්තට නිදන එකා අවදි කළ හැකි වුවත් බොරුවට නිදන මහ උන්, උන්ගේ අපහසුවට මිස රටේ අපේ අපහසුවට නැගිටින්නේම නැත. පහසුවට ලේසියි ජීවිකාව පවත්වන්නට වැල යන අතට මැස්ස ගහන්නේ ඊට එකඟ නිසා නොව විරුද්ධ වී ජීවිතය අපහසු කර ගැනීමට ඇති අකමැත්ත නිසයි. එතකොට මේ සමාජ ප්‍රගමන මල් වට්ටියට අතගහන්නේ කව්ද? ඒවායේ නායකත්වය ගන්නේ කව්ද? සහ ඔවුන් එසේ කරන්නේ ඇයි? පැරණි ක්‍රමයේ ගම්බිම් පදනමේ රාශිගත වීම් ස්වභාවයක් නැති අද ඔය සේරම කෘතිම නායකත්වයන් වෙයි. එවිට නැවත ගමේ දේශපාලුවා ගමේ ස්වභාවික නායකයා වෙයි. පූජ්‍ය හෝ පූජක පක්ෂය ගමේ ස්වභාවික නායකයන් වීම බොහෝ කොට නාමිකත්වයටම වැටී ඇත. රාජ්‍යයේ බලය පාලකයාගේ පැවැත්ම පිණිස පමණක් සක්‍රීය වෙද්දී අප බල්ලාගේ කිනිතුල්ලා මෙන් පරපෝෂී වන්නට හදන්නේ පාලකයාගේ ඇඟේ එල්ලී හදා ගන්නා සබඳයකින් මිස අප වෙනුවෙන් පවතින රාජ්‍යයේ බලය සක්‍රීය කර ගැනීමෙන් නොවේ. අපි අහවලාගේ කට්ටිය කියා අහවලාගේ බලයේ කොටස්කරුවන් ලෙසින් රැකෙන්නට හදන්නේ එහෙයිනි. එසේ නැතිව රටේ පුරවැසියන් ලෙස පෙනී සිටීමෙන් පමණක් අපට රැකවරණය ලැබීමට නම් අපට හුදෙකලාවේ සටන් කරන්නට සිදුවේ. ඒ සටනට තවත් පුරවැසියන් එක් වෙද්දී එතැනත් උගත් පණ්ඩිතයෝ ගුරුකුල ප්‍රශ්න හදති. පිරිසක් ඉන්දියාවෙන් පැමිණ මිශ්‍ර වූ නිසාමදෝ බමුණන්ටත් වැඩි බමුණෝ මෙහේ සිටින බව කියන්නට සිදුවන්නේ එවිටය.
සාමාන්‍ය ජන විඥානයෙන් කළහැකි දේ එය පුළුල් වූවා කියා නොකෙරෙන්නේ එහෙයිනි. ඇත්තේ පහසු ජීවිතයේ රුචිකත්වය පමණි. අද බහුතර සිංහල බෞද්ධයා කොහොමත් සරල ජීවිතය පතන්නෙක් නොවේ. එබැවින් ඔය ජන විඥානය පුළුල් කිරීමට වඩා බෙල්ලට පිහියක් තැබීම, කඩුවක්, තුවක්කුවක්, බෝම්බයක් බොහෝ තැන්වලදී සාර්ථක වී ඇත්තේ මරණයට වඩා අපහසුව තුළ ජීවිතය හෝ ඉතිරිවන වාසිය පහසු ජීවිකාවේ රුචිය විසින් එහිදී මතු කරන බැවිනි.
එබැවින් අපහසු ජීවිත පහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත්, පහසු ජීවිත අපහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත් යන සංකීර්ණ බල සමීකරණ අතරේ සාධාරණ සරල සමීකරණයක් වන සාමාන්‍ය විඥානය යුක්ති සහගත බලසම්පන්න අවියක් කර ගැනීම අප වැනි මිනිස්සුන්ට මෙවැනි සමාජයක ජීවත්වීම උදෙසා එකම පිහිට 'වේ යනුවෙන් අවබෝධයට ගන්නට අපට සිදුවේ.

No comments: