Sunday, June 30, 2019

සසරට කුලිය

මමත්වයෙන් යුතු හැම හැඟීමකමට මිලක් ඇත. ඉල්ලා ගැනීමේදී ප්‍රවේශම් වන්න.

ටීකා.. ටිප්පණි

බඩගින්න අප කාටත් පොදු කාරණයකි. ඒත් එකිනෙකා ආහාර ගන්නේ තම තමාගේ කුසට බඩගින්න දැනෙන වෙලාවටයි. මගේ බඩගින්න ගැන මට ඇතිවන හැඟීම අනෙකාටත් එලෙසින්ම දැනෙන බව තේරුම් ගත් තැනැත්තා තමාගේ බත් පත කුසගින්නේ සිටින්නෙකු හා බෙදා ගැනීමට මැළි නොවේ. ඔහු ඒ කෑම පංගුවට මිලක් නියම නොකරයි. එහෙත් කොපමණ බඩගින්නක් තිබුනත් හෝටලයකින් දන්සැල් තබා පන්සලකින් දුගියාට ලැබෙන දාන පංගුවෙන් කොටසක් පමණවත් නොලැබෙයි. ඒ කෑම හෝටලයට අයිති ඒවා නිසා මුදලට මිස ඒවා කුසගින්න යන හැඟීම මත පමණක් අලෙවි නොවෙයි. අපි හෝටලයට ගොස් ආහාර ඇණවුම් කරන්නේ අතේ ඇති මුදලට ගැළපෙන්නටය. හිතේ හැටියට කන්නට  ඉල්ලා සිටියොත් ඉල්ලුමේ හැටියට ගෙවන්නට සිදුවීම අනිවාර්යය. වතුර ටිකත් අද පිපාසයටම ලැබෙන්නේ නැත. එපමණක් නොවේ, ඔබට.. ඔබට.. ඔබට..ම කියා ආකර්ශනීය වෙළඳ දැන්වීම් තුළ ඇඟේ ගසන කවරක් වුව කාගේ හෝ අයිතියක් අලෙවි කිරීමකි. හිත හොඳ බව පෙන්වන වෙළඳාමේ සමහර උපක්‍රම ගැන මෑතදී පුවත් බොහෝ විය. සක්විති හොඳම උදාහරණයකි. ඔහුගේ මමත්වය උදෙසා  ක්‍රියාත්මක වූ හැම හැඟීමකට මිලක් තිබුණි, ඒ මුදල ජනතාවගෙන් ඔහු ලබාගත්තේය. ඒ ජනතාවගේ මමත්වයන් සංතර්පනය නොකර ඔහුට  සැබෑ නිදහසක් කෙදිනක ලැබේවිද? ලෝකය මමත්වයෙන් යුතු පෘථග්ජනයන් ගේ නිවහනය. ඒ බව තේරුම් ගන්නා තරමට ජීවිතය පහසු වනු ඇත.

No comments: